කළුගංතොට සිංහයා : වෙල්ගම පාර්ලිමේන්තුව ගිනියම් කරයි. පක්ෂ විපක්ෂ රැසකගෙන්ම පැසසුම් 🎥


මෑත කාලීන පාර්ලිමේන්තු ඉතිහාසයෙහි ඉතාම ප්‍රබලම පාර්ලිමේන්තු කතාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් ඊයේ (19) සිදුකරනු දක්නට ලැබිණි. 

අයවැය විවාදයට එක්වෙමින් මුලින්ම දුගී දුප්පත් ග්‍රාමීය ජනතාව නියෝජනය කරන විවිධ ක්ෂේත්‍රවලට මේ අයවැයෙන් සහනයක් නොලැබී ඇති ආකාරය පෙන්වා දුන් අතර කළ යුතුව තිබුණේ ඔවුන් අතට මුදලක් ගලා යන අවස්ථාවන් සැකසීම බවත් පෙන්වා දුන්නේය. ලීසිං සමාගම්, බැංකු සහ වෙනත් පෞද්ගලික සමාගම් කොවිඩ් වසංගත අවස්ථාවේ කටයුතු කළ ආකාරය ද විවේචනාත්මකව සිහිපත් කළ ඒ මහතා සහන දිය යුත්තේ සමාගම් වලට නොව ජනතාව බවත් අවධාරණය කරමින්ම අයවැය ගැන වැඩිදුර කතා කර තේරුමක් නොමැති බවත් සඳහන් කළේය. 

ඉන්පසුව දේශපාලන ක්ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරවූ ඒ මහතා වත්මන් රජයේ වැරදි විවේචනය කරන අතරේම පසුගිය රජයේ වැරදි මෙන්ම ඊට පෙර 2010 සමයේ වැරදි පවා එකට පෙළ ගස්වා සිහිපත් කරමින් ඒ සියල්ල එකවිටම ප්‍රතික්ෂේප කළයුතු බව පෙන්වා දුන්නේය. විශේෂයෙන් නිදහසෙන් පසු 73 වසරක් ගැන කතා කර කර සිටිනවාට වඩා, විවේචනය කර කර සිටිනවාට වඩා ඒ වැරදි හදාගනිමින් ඉදිරියට යෑමට පොදු වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් අවධාරණය කළේය. 

අසාධාරණයට ලක්වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අදහස් දැක්වූ ඒ මහතා එම අමිහිරි සිදුවීම් නැවත සිදුවීමට ඉඩ නොදිය යුතු බව මෙන්ම අවසානයේ හොරුන් හසු නොවන ආකාරය ද හාස්‍යමුසු ආකාරයෙන් පෙන්වා දුන්නේය. 

පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙන්ම ඥානසාර හිමියන්ව ජනාධිපති කාර්ය සාධක බලකායක සභාපති තනතුරට පත්කිරීම පිළිබඳවත් නිර්දය ලෙස විවේචනය කළ ඒ මහතා සිය දීර්ඝ දේශපාලන අත්දැකීම් තුළින් ඉතාම විචක්ෂණශීලී ලෙස මෙන්ම ඉතාම සරල භාෂා හැසිරීමක් ද සහිතව පැහැදිලිව කරුණු දක්වනු දක්නට ලැබිණි. 

මෙම කතාවෙන් පසුව කුමාර වෙල්ගම මහතාව ඇමතූ ආණ්ඩු පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් ගණනාවක්ම ඒ මහතාට ස්තූති කර තිබුණු බවත් වාර්තා විය. 

එසේම දේශපාලන කරළියෙහි තීරණාත්මක චරිත වන ප්‍රබල භික්ෂුන් වහන්සේලා කිහිපදෙනෙකු ද ඒ මහතාට දුරකථනයෙන් කතා කර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. 

විශේෂයෙන්ම පෞද්ගලික වාසි අවාසි නොතකා, නිර්භයව, කෙළින් කතා කරන, කෙළින් වැඩ කරන ජාතික නායකත්වයක් පිළිබඳව බිඳවැටී තිබුණු බලාපොරොත්තු වෙල්ගම මහතාගේ කතාවත් සමග යළි දැල්වුණු බවක් දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම පෙළේ ස්ථාන කිහිපයකම සාකච්ඡාවට ගැනී තිබුණු බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post