2022 අයවැය යෝජනා මාලාව "මෙරට මධ්‍යම පන්තිය විනාශ කර දැමීමේ," අයවැයක් බව හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආර්ථීකයේ විශාල ප්‍රශ්නයක් තිබියදී මධ්‍යම පන්තිය ද ආරක්ෂා වන පරිදි රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට නම් කළ යුතු දෙය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීම බව ඔහු අද (නොවැ.16) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.
"අනාගතේ රැකියා ඇති කරන්න තියෙන ප්‍රධාන ම සමාගම් 20,30,40ට මේ ප්‍රශ්නය ඇති වුණා ම කොහොම ද ඒ සමාගම් ගෙනියන්නේ. ආණ්ඩුව එක පැත්තකින් හෙල්ලෙනවා. අනික් පැත්තෙන් මේ සමාගම් හෙල්ලෙනවා. එහෙනම් ආර්ථීකයේ විශාල ප්‍රශ්නයක් තියෙන්නේ. අපි මේ ගැන ක්‍රියා කළේ නැත්නම් ප්‍රධාන වශයෙන් මේ රටේ මධ්‍යම පන්තිය විනාශ වෙනවා. අපි ආණ්ඩුවක් හැටියට 1977 ඉඳන් මධ්‍යම පන්තියක් ඇති කරන්න ක්‍රියා කළා. ඒ මධ්‍යම පන්තිය අරගෙන තමයි චන්ද්‍රිකා කුමාරතුංග ඇවිත් මේක තවත් දියුණු කළේ. දැන් මේ මධ්‍යම පන්තිය නැති කරන්න යනවා ද? අමාරුවෙන් ජීවත්වෙන්නේ 70දී වගේ නොවේ. අද තියෙන්නේ වෙනත් කාලයක්. තරුණයාට මඤ්ඤොක්කා කාලා පුරුදු නෑ. අපි කෑවා පොඩි කාලේ කොළඹ හිටිය ත්. මධ්‍යම පන්තිය නැති වුණොත් මොනවා වෙයි ද දන්නේ නෑ. ඒක නිසා මම කියන්නේ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල IMF ගිහින් කියන්න. මම හිතන්නේ නෑ රැකියා ඉවත් කරන්න කියලා කොන්දේසි දායි කියලා."
ඔහු කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්න නගමින් විමසා සිටියේ, ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරනු ලබන කොන්දේසි මාලාවේ ප්‍රතිපත්තිවලට විපක්ෂය වශයෙන් එකඟ වෙනවා ද? යනුවෙනි.
$ads={2}
ඊට පිළිතුර දෙමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ආර්ථික අර්බුදය සඳහා නව මාර්ගයක යා යුතු අතර යම් කොන්දේසි තිබුණ ත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු යැයි තමා පවසන බව ත් ය.
"මට කියන්න LRT එක බිලියන 1 1/2ක්. දැන් බටහිර පර්යන්තය දුන්නා. ADR එකෙන් ණය ගන්න හදනවා. මේක ආපහු ගියා නම් ඩොලර් මිලියන 500ක් එතනට හම්බවෙනවා. මේ new frontier එක්ක හිරවෙලා තියෙනවා මිලියනයක්. MCC එක අයින් කළා. එතන තියෙනවා මිලියන හාරසීයක් විතර. අධිවේගී එකේ 3 වන කොටසේ තියෙනවා මිලියන තුන්සීයක්. ලේසියෙන් ම බිලියන 4ක් හොයාගන්න පුළුවන් මේ අවස්ථාවේදී. IMF එකට යන්න. මම කියන්නේ නෑ එපා කියලා. යන්න යම් කිසි විදයකට මූල්‍ය විනයක් ඇති කරයි. ඒකට යන්න. IMF කතා කරලා අලුත් මාර්ගෙක යන්න කියලා මම කියනවා."
මෙහිදී මේ සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද අදහස් ප්‍රකාශ කළ අතර ඔහු සඳහන් සඳහන් කළේ, දුෂ්කරතා මත මෙවර ගෙනා අයවැය වික්‍රමයක් බව ත් ආර්ථිකය සම්බන්ධයෙන් අලුත් විදියකින් බලනවා යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම නොවිය යුතු බව ත් ය.
"අලුත් විදියකට බලනවා කියන එක IMF එකට යන එක නොවේ. ඔබතුමන්ලා ඒකට ගියා. දැන් කී වතාවක් ගියා ද? අපි IMF එකට යන්න ඕනේ හිරේ යනවා වගේ. හිරේ ගියා ම අඩු ම කන්න දෙනවා. IMF ගියා ම උන් අපිව කනවා. මේ අයවැය දහස් ගාණක් අමාරුකම් මැද ගෙනාපු අයවැයක්. මේ අයවැය එක්තරා විදියක වික්‍රමයක්."