මල්ලවආරච්චිගේ පැතුම් තිස්අට හැවිරිදි තරුණයෙකි. ඔහු කුඩා කල අනේකවිද දුක් කම්කටොලූවලට මුහුණ දුන් අයෙකි. මව්පිය නෑ කෙනකුගේ නිසි රැකවරණයක් ආදරයක් නොලද ඔහුට රැකවරණය සැලසුවේ ඇලයාපත්තුව, ගල්කඩවල, ගල්පොත්තේගම ප්‍රදේශයේ නිවසක සිටි මවකි. කරදඬු උස්වන තුරුම ඒ නිවසේ හැදී වැඩුණු පැතුම් අගහිඟකම් පිරි කටුක ජීවිතයට ආයුබෝවන් කියා කීයක් හෝ උපයා ගන්නට නොකළ දෙයක් නැති තරම් ය.
අනුරාධපුරය යනු ශුස්ක බිම්කඩකි. ගල්පොත්තාගම වූ කලී ඊටත් වඩා දුෂ්කර කටුක දිවිපෙවෙතක් උරුම වු මිනිසුන් ජීවත්වන පෙදෙසකි. මවකගේ පියකුගේ රැකවරණයද ආදරය ද අහිමිව ගිය පැතුම් ට තිබූ අගහිඟකම්වල නිමක් නොවීය.
තුන්වේල තියා ඇතැම් දිනවල කහට කෝප්පයක්වත් නොමැතිව කුසගින්නේ උන් පැතුම් නිතරම කල්පනා කළේ මේ නරකාදියෙන් ගොඩයන්නට කළයුතු දේ පිළිබඳවය.
දින ගෙවී ගියේය. කටුක ළමාවිය ආශිර්වාදයක් කරගත් ඔහු මීට වසර කිහිපයකටට පෙර කොළඹට ආවේ රැකියාවක් සොයාගෙනය.
ගල්පොත්තාගම ප්‍රදේශයේ තමාට ආදරය, රැකවරණය සැලසූ නිවැසියන්ට සමු දී ඔහු ගෙන්දගම් පොළොවට පාතැබුවේ හොඳින් හෝ නරකින් මේ කටුක දිවිය නිමකර දැමීමේ තිර අධිෂ්ඨානයෙනි.
අනුරාධපුර ගල්පොත්තාගම මෙන් නොව කොළඹ ගෙන්දගම් පොළවේ කරන්නට බොහෝ දේවල් තිබෙන බවට පැතුම්ට තේරුම් ගියේ කොළඹට පැමිණ දින කිහිපයක් ගිය පසුවය.
පැතුම්ට සිහින් ඉවක් තිබිණි. ඒ ඉව දිගේ ඇවිද ගිය ඔහුට විවිධාකාර පුද්ගලයන් මුණගැසිණ. කොළඹදී ඔහු කළේ මුදල් සොයන ක්‍රමවේද අධ්‍යයනය කිරීමය.
එක එක අත්හදාබැලීම් කළ ඔහුට අවසානයේ දී ලක්‍ෂපතියකු වන මගක් පෑදිණි. කෙලෙස හෝ මුදල් උපයාගත් ඔහු කොළඹ හා නාවින්න ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන සැලෝන් දෙකක් ආරම්භ කළේ කාලයාගේ ඇවෑමෙනි.
මේ සැලෝන් බිස්නස් එක ඔහුට ධන උල්පතක් බවට පෙරළුණේ ඇසිල්ලෙනි. සැලොන් යනු නිකම්ම නිකන් කොණ්ඩා කපන, කොණ්ඩ මෝස්තර දමන රූපලාවන්‍ය කටයුතු කරන මධ්‍යස්ථාන නොවන බව අප කොයි කවුරුත් දනිමු. මේ ‘සැලෝන්’ පුවරුවට මුවා වී මසාජ් හා ගණිකා ව්‍යාපාරය ද ක්‍රියාත්මක වන බව නොරහසකි. ඒ බිස්නස් එක යන්නේ ‘සබ්මැරීන්’ මුහුදේ යන පරිදිය. මුහුද මත නෞකා පාවී ගියත් ‘සබ්මැරීන්’ ගමන් කරන්නේ මුහුද යටිනි. ‘සබ්මැරීන්’ වල ගමන පිටට නොපෙනේ. පැතුම්ගේ සැලූන් ව්‍යාපාරය හරියට මුහුදේ යන නෞකාවක් වැනිය. ඊට යටින් ගිය ව්‍යාපාර පිළිබඳව තාම නිවැරදි තොරතුරු හෙළි වී නැත.
කෙසේ වෙතත් පැතුම් වසර කිහිපයකින් කෝටිපතියකු බවට පත් වූයේ ‘‘ඊසි කම් ඊසි ගෝ’’ න්‍යාය ද ඔහුටත් පොදු න්‍යායක් බවට පත් කරමිනි.
පැතුම්ට මුල මතක් විය. කුඩා කල බඩගින්නේ ලතැවුණ ඔහුට බත් දුන් අම්මාත්, ඒ අම්මාගේ දියණියත් සිහිවූයේ එනිසා ය.
එදා ගැටිස්සියකව සිටි ඒ නිවසේ සිටි නැගණිය වැනි තරුණිය සොයා ඔහු ගල්පොත්තාගමට ආවේ එනිසාය.
$ads={2}
‘‘නංගී ඔයාට මම කොළඹින් හොඳ රස්සාවක් හොයල දෙන්නම්.’’ පැතුම් කීවේ ඇගේ සිහිනය සැබෑ කරන බව සපථ කරමිනි. ඇගේ මුවේ නැඟි සිනා රැලි දුටු ඒ දියණියගේ මවගේ ද හිසේ මල් පිපිණි.
‘‘ලොකු උදව්වක් පුතේ. මේ දුවට හොඳ රස්සාවක් හොයල දුන්නොත් පුතා කරන ලොකුම උදව්ව ඒක තමයි’’ පුතාට තුනුරුවන්ගේ සරණයි. පුතා පුතෙක් නෙවෙයි. දෙවියෙක්’’ ඒ මව නෙතඟට නැඟි කඳුළු ඇඳ සිටි චීත්තයෙන් පිසදැමුවේ සතුට ඉහවහා යද්දීය.
පැතුම් ඒ වන විටත් කෝටිපතියෙකි. ගමට ආවේ සුඛෝපභෝගී මෝටර් රථයකිනි. අත රැඳි ජංගම දුරකථනයට ඇමතුම් ගලා ආවේ ඒ ගමේ කොයි කවුරුත් පුදුම කරවමිනි. ගෙල බැඳි රන් දැම්වැල් දුටු ගමේ අයට සිහිවූයේ ක්‍රිකට් තරග ය. ක්‍රිකට් තරග වලදී බෝල යවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බෝලය ඊගහක වේගයෙන් හයේ සීමාවද පැන ප්‍රේක්‍ෂකයන්ගේ හිසට වැටෙන විට, ගෙල බැඳි රන් දම්වැල් ලෙළදෙන හැටි ගමේ අයට මතකය. පැතුම්ගේ ගෙලෙත්, අතෙත් තිබුණේ ඒ රන් දම්වැල් ය.
ඒ මව තම දියණිය පැතුම්ට භාර දුන්නේ දැඩි විශ්වාසයෙනි.
ඇය කොළඹ ආවේ සිහින මාලිගාවක් සිතේ මවාගෙනය. කොළඹට පැමිණි ඇයට පැතුම් අයියාගේ බිස්නස් ගැන හොඳ අවබෝධයක් ලැබිණි. පැතුම්ගේ අතමිට තිබූ මුදල් කන්දරාව කොපමණ ද යත් ඒ මුදල්වලට කරන්නට බැරිවූ එකම දේ මළවුන්ට පණදීම පමණකි.
රුසිරු ලියෝ පැතුම් වටා නටති, ගයති, රගති. විස්කි බ්‍රැන්ඩි ද, ජින් ඇන්ඞ් ටොනික් ද ඔහුට අඩු නැත. මිතුරු සමාගම්වල නිමක් නැත. සැලූන් එකේ ආදායම් පරයා ‘සබ්මැරීන්’ ආදායමක් ඔහුට ලැබෙමින් තිබිණි.
‘‘අම්මේ මට මෙහෙ හරි කරදරයි. මට තවත් මෙහෙ ඉන්න බෑ’’ මව සමඟ කතාබහ කරන හැම විටම ඇය හඬා වැටෙමින් කිව්වේ ඒ ටිකය.
මේ අතරතුර කෝටිපති පැතුම් සිය පෙම්වතියකට රුපියල් කෝටි දෙකක් වැයකර අති සුඛෝපභෝගි වාහනයක් තෑගි කළේය. ඒ පැතුම්ගේ පෙම්වතියකගේ උපන් දිනය යෙදී තිබුණු දිනයේ ය. රුපියල් කෝටි දෙකක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් පෙම්වතියට තෑගි කළ පැතුම් ෆේස්බුක්වල වීරයකු බවට පත්විය. යොහානිගේ ‘මැණිකේ’ අන්තර්ජාලයේ පැතිර ගිය වේගයට පමණක් දෙවැනි වූ පැතුම්ගේ උපන් දින තෑග්ග දුටු අනෙක් තරුණියන් ද කල්පනා කළේ ‘පැතුම්’ වැනි පෙම්වතකු සිටියා නම් කියා ය.
‘‘තමුසෙට මගෙ උපන් දිනයවත් මතක නැ. මේ බලනවා පෙම්වතියකට කෝටි දෙකක වාහනයක් අරන් දුන්න මිනිහෙක්.’’ අඹුවන් ෆේස්බුක්වල ගිය පින්තූර සැමියන්ට පෙන්වා ආඩපාලි කියන්නට විය.
කෙසේ හෝ පැතුම්ගේ මුදල් උපයන මැෂිම දුටු අප කී තරුණියට ගමට පලා යනවා හැර වෙනත් මඟක් නොපෙනිණි.
‘‘අම්මේ, තවත් නම් ඉන්න බෑ. මම මෙහෙන් පැනල එනවා. මට හරිම කරදරයි’’ ඇය අවසන් වරට මවට කීවේ ඉකිගසා හඬන ගමන් ය.
කී පරක්කුවෙන් ම ඇය පැතුම්ට හොරා ගමට පලාගියේ මිටින් මුදාහල කිරිල්ලියක මෙනි.
පැතුම් නිතර ඇයට කතාකර කොළඹ එන ලෙසට තර්ජන ගර්ජන කළේය. ඒ නරකාදියට ආපසු යනවාට වඩා අපායට යන එක තෝරාගත් ඇය මව සමඟ අනුරාධපුර, ගල්කඩවල නිවසටම වී සිටියාය.
විසිඑක් හැවිරිදි මේ තරුණියට පැතුම්ගෙන් ගැලවීමක් නොවීය.
‘‘තමුසෙ එනවද? මම එන්නද?’’ අවසන් දුරකථන සංවාදය එයයි.
දුරකථනය විසන්ධි වන විටත් පැතුම් සිටියේ ගල්කඩල ඇය ජීවත් වූ නිවස ඉදිරිපිට ය.
දිනය ඉකුත් 10 වැනිදා ය. ඒ වනවිට මළහිරු බැස යමින් තිබිණි. පැතුම් සමඟ මිතුරන් කිහිපදෙනකු ද සිටියහ. පැමිණියේ සුඛෝපභෝගී රථයකිනි.
‘‘වරෙන් යන්න’’ පැතුම් ඇය බලෙන් රැගෙන යන්නට වලිකෑවේය.
‘‘මට බෑ. මට බෑ. අනේ අම්මේ මාව බේරගන්න’’ ඇය ගේ ඇතුළේ සැඟවෙමින් හඬාවැටෙද්දී මාරයාගේ හෝරාව ද ළං ළං වෙමින් තිබිණි.
‘‘අනේ අම්මේ මාව බේර ගන්න. මට මූත් එක්ක යන්න බෑ.’’ කියද්දීම නිවසටට ආවේ ඒ විසිඑක් හැවිරිදි තරුණියගේ සොයුරාය.
‘‘පැතුම් තොට පිස්සුද? නංගී බෑ කියනවා නම් උඹ ඒකි බලෙන් අරන්න යන්න හදන්නෙ තෝ හිතුවද නංගි තොට ලියල දීල කියලා. පලයන් යකෝ යන්න.’’ සහෝදරයාගේ රුහිරු රත්වී සියොළඟම වෙව්ලූම් කමින් තිබිණි.
‘‘උඹ පැත්තකට වෙයන්. මේක අපි බේරගන්නම්’’ ධනපතියන්ගේ නැගෙන රැස් පැතුම්ගේ මුවින් ද නික්මුණේ එහෙමය.
බහින්බස්වීම දෙස බලා සිටි මාරයා විසිඑක් හැවිරිදි තරුණියගේ සොයුරා අතට තියුණු කැත්තක් ළං කළේය. එය අඩි පහක් දිග මිට සහිත කැත්තකි.
ඒ වනවිට පැතුම් සිටියේ නිවසේ ය. මාරක කැති පහරක් පැතුම්ගේ සිරුර හරහා වැදී ගියේ ඇසිල්ලෙනි. සිරිස් ගා ලේ ගලා යද්දී සිහි විකලෙන් මෙන් ඔහු මිදුලට පැන විසිවී ගොස් වැටුණේ වැට අද්දරට ය. පසුව ඔහු එනතුරු බලා සිටි මිතුරන් තුවාල ලබා සිටි පැතුම් ද ඔසවාගෙන පලාගියේ අනපේක්‍ෂිතව සිදු වූ දේ පිළිබඳ සිතාගත නොහැකිවය. අවසානයේ දී කැති ප්‍රහාරයට ලක් වූ කෝටිපති පැතුම් උපයාගත් මුදල් හා වස්තූන් සියල්ල අතහැර දමා හිස් අතින්ම මරුවා සමඟ යන්නට ගියේය.
සිද්ධිය සැළ වූ සැණින් ක්‍රියාත්මක වූ ඇලයාපත්තුව පොලිසිය ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. අඩි පහක් පමණ දිගැති කැත්ත ද නඩු භාණ්ඩයක් බවට පත්විය. විසිඑක් හැවිරිදි තරුණියගේ ජීවිතය නූලෙන් බේරී ගොස් ඇත. මැරි මැරී ඉපදෙමින් සිටි ඇයට දැන් ඒ කරදරකාරයාගෙන් හිරිහැර නැත.
නමුත් මෙය ඝාතනයකි. සිද්ධිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගේ මෙහෙයවීම යටතේ ඇලයාපත්තුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
සම්පූර්ණ උපුටා ගැනීම “දිවයින” පුවත්පතෙන්..