''මොන තරම් බල්ලෝ බිරුවත් තවලම ඉස්සරහට යනවා වගේ මොන බාධක ආවත් මේ ආණ්ඩුව ඉදිරියට ම යන බව'' ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිත කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3,279ක් මත ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලු මුවෙදාර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවයට පසුගියදා සහභාගි වෙමිනි.
හෙතෙම එහිදී මෙසේ ද කීය.
“අද මම සතුටු වෙනවා වරාය ඇමතිතුමාතුමාත් එක්ක මෙම කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයට සම්බන්ධ වීම ගැන. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වන වතාවට තමයි අද මෙම පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවිකිරීමේ තාක්ෂණය පාවිච්චි වෙන්නේ. ඒ නිසා නැකැතකින් මෙය ආරම්භ කරන්න තීන්දු කරලා තිබුණා. රෝහිත ඇමතිතුමාට අපි ආරාධනා කරලා සුබ නැකැතින් මෙය ආරම්භ කෙරුවා. මම ඉතාමත්ම සතුටු වෙනවා ලංකාවේ මේ අලුත් තාක්ෂණය සමග ලංකාවේ ඉන්ජිනේරුවරුන්ගේ දැනුමත් ඉහළ යනවා කියලයි මම විශ්වාස කරන්නේ.
2015දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැරදුණේ නැත්නම් අද මෙම අධිවේගී මාර්ගය මේ රටේ ජනතාව පාවිච්චි කරනවා. ආනයනයට අපනයනයට විතරක් නෙවෙයි හම්බන්තොටින් නැගපුවහම ගාලුමුවෙදාර පිටිය ළඟින් බහින්න පුළුවන් යුගය තමයි එදා යහපාලන ආණ්ඩුව පත් කරගෙන ජනතාව අහිමි කරගත්තේ. යහපාලන යුගයේදී අපි යම්තාක් දුරකට ආපස්සට ගිහින් තියෙනවා. ඊර්ෂ්‍යාවයි, වෛරයයි නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනාපු ව්‍යාපෘතින් යහපාලන ආණ්ඩුව නතර කෙරුවා. එහෙම නොවුණා නම් අද පෝට් සිටිය විවෘත කරලා අවසන්.
ප්‍රේමදාසගේ කල්ලියයි, දිසානායකගේ කල්ලියයි මේ රටට වින කෙරුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපහාස කෙරුවා. එතුමාගේ දක්ෂ නායකත්වය නිසා තමයි අද ඔබත් මමත් මේ විධියට කතා කරන්නෙ. මම ඔබව දකින්නේ ඔබ මාව දකින්නෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත්ත නිසයි. ලෝකය ම එන්නත් ගැන තහවුරු කරලා එය ලබා දෙන්න තීන්දු කෙරුවහම, ශ්‍රී ලංකාවට එම එන්නත් ගෙන්නන්නට යද්දි නොයෙකුත් කතා කියමින් කකුලෙන් ඇද්දා. එන්නත ලබාදෙන්න හදනකොට මාසයක් විතර ප්‍රමාද කරා අසත්‍ය ප්‍රචාර යවලා. ඉස්සල්ලාම එන්නත ගෙනෙන්න බැහැයි කිව්වා. අපි එන්නත් ගෙනාපුවම නොයෙකුත් අසත්‍ය ප්‍රචාර යැව්වා.
වෘත්තීය සමිති නායකයන් එකතුවෙලා රාජ්‍ය නිලධාරීන්ව මෙහෙයවලා අසත්‍ය ප්‍රචාර සිදු කළා. ඔවුන්ගේ විවිධ සමාජ ජාලා හරහා අසත්‍ය කරුණු බෙදා හැරියා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අවශ්‍ය කරන මුදල් ටික හොයාගෙන අපේ රටේ මිනිස්සු බේරගන්න ක්‍රියා කරද්දි එතුමන්ට නින්දා අපහාස කරපු එක තමයි විපක්ෂය කළේ. යුද්ධය අවසන් කරන්න කටයුතු කළ ආරක්ෂක ලේකම්වරයා වගේ ම මේ රටේ ජනතාවගේ ජීවිත බේරාගත් නායකයා විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාසගත වෙනවා. අපේ ආණ්ඩුව හරි ම කූල් ආණ්ඩුවක්. අපේ ජනාධිපතිතුමා කූල් නායකයෙක්. එතුමා නිශ්ශබ්දව ජනතාව වෙනුවෙන් කළ යුතු දේවල් කරනවා.
අල්ලපු රටවල්වල මිනිසුන් දහස් ගණන් මැරෙද්දි අපේ රටේ මිනිස්සු බේරගන්නේ කොහොමද කියලයි එතුමා කල්පනා කළේ. විපක්ෂය ප්‍රාර්ථනා කළේ මිනිස්සු මැරිලා හරි රාජ්‍ය බලය ලැබෙන්න කියලයි. හැබැයි අපේ ජනාධිපතිතුමා බුදුන් වඳිද්දි ප්‍රාර්ථනා කළේ අපේ රටේ මිනිස්සු ටික ආරක්ෂා කරලා දෙන්න කියලයි.
මේ රටේ මිනිස්සුන්ට විස දෙන එක නතර කරන්න ඕනි කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා. අවුරුදු 10ක් ඇතුළත ක්‍රියාත්මක කරනවා යැයි කියපු සැලසුම මිනිස්සු මැරෙනවා දකින්න අකැමැති නිසා ගෝඨාභය ජනාධිපතිතුමා අවුරුද්දක් කල් දීලා තීන්දු කෙරුවා වහාම එය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. එතුමා හොඳ ප්‍රකාශයක් කෙරුවා. දේශපාලඥයෝ ඡන්දය දිහා බලලයි වැඩ කරන්නේ නමුත් මම වැඩ කරන්නේ ඡන්දය දිහා බලලා නෙවෙයි. මම වැඩ කරන්නේ හරි කියන දේ බලලා, ඒ හරි දේ කරන ජනාධිපති කෙනෙක් කියලා එතුමා ප්‍රකාශ කළා. ඡන්ද ගැන නොහිතා තීන්දු තීරණ ගන්න එක ම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා මම කියනවා. යුද්ධය ජයග්‍රහණය කළා සේම මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගත් නායකයා විදිහටත් මේ රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳලා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන නායකයා විදිහටත් ගෝඨාභය ජනාධිපතිතුමා ඉතිහාසගත වෙන බව මම විශ්වාස කරනවා.
හාල් මිලේ, පෙට්‍රල් මිලේ, ගෑස් මිලේ ප්‍රශ්නයක් ඇති වුණා. මේවා ඇති වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මුළු ලෝකයේ ම මනුෂ්‍ය සත්ත්වයාව අභියෝගයකට ලක්කළ මෙම වසංගතය නිසා තමයි මෙවැනි ප්‍රශ්න මතුවුණේ. තමන්ගේ මවුපියන් දරුවන් අසනීප වුණහම බලන්නවත් යාගන්න බැරි වෙන රෝග ගැන අපි කවරදාකවත් අත්දැකල නැහැ. මෙවැනි රෝග ගැන අපි බලාපොරොත්තුවෙන් ඉඳලා නැහැ. මේ කොවිඩ් අර්බුදය ප්‍රබල රටවල් දණගැස්සුවා. ප්‍රබල රටවල් දණගහද්දි අපේ රට නිසියාකාරව ගොඩනැගුවේ අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා.
මගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ මේ රට රැගෙන යන්න සල්ලි තියෙනව ද කියලා. මං කිව්වා සල්ලි නැත්තන් රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ කොහොමද කියලා. සමෘද්ධිය දෙන්නෙ කොහොමද, කොහොම ද වරාය දියුණු කරන්නේ, මේ පාරවල් සංවර්ධනය කරන්නේ කොහොම ද, අපේ ජනාධිපතිතුමාගේ පළමු වන ප්‍රතිපත්තිය තමයි මේ රට දූෂණයෙන් තොර රටක් බවට නිර්මාණය කිරීම. එතුමන්ට මහ බැංකුව හොරා කෑවා කියලා චෝදනා නැහැ. රාජ්‍ය ආරක්ෂාව බින්දුවට දැම්මා කියලා ඔහුට කිසිම චෝදනාවක් නෑ. මිනිසුන් ඔහේ නිකන් මැරෙන්න ඇරියා කියලා චෝදනා නැහැ. කොවිඩ් අර්බුදය තිබුණත් එදාට වඩා අද අපේ රට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අපි අපේ රට දියුණු වුණ ආර්ථිකයක් සහිත රටක් බවට පත් කරනවා.”