අනුරාධපුර ගුරුවරුන් 100කට සහ සිසුන් 1000කට කොවිඩ්


මේ වන විට මෙරට පාසල් පද්ධතිය තුළ කොවිඩ්-19 රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ත් උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගුරුවරුන් සියයකට පමණ හා සිසුන් දහසකට පමණ රෝගය වැළඳී දැඩි අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව පවතින බවත් ලංකා ගුරු සංගමයෙහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 

මහනුවර ජන මැඳුර ශාලාවේ ඊයේ (නොවැ. 28) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම ඉහත අදහස් පළ කළේ ය. 

$ads={2}

මෙහිදී තවදුරට ත් අදහස් පළ කළ ඒ මහතා 

"කුමන තත්ත්වයක් මත හෝ පාසල් ආරම්භ කරන ලෙස රජය උපදෙස් ලබා දුන්නත් මෙම පාසල්වල විධිමත් සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරලා නෑ. පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා රජය මුදලක් වෙන් කරලත් නෑ. මේ වන විට දිවයින පුරා පාසල්වල කොවිඩ්-19 රෝගය ඉතාමත් අන්තරාදායක ආකාරයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට අපිට තොරතුරු ලැබී තිබෙනවා.

උතුරු මැද පළාතේ මේ තත්ත්වය ඉතාමත් ම අවදානම් බවට පත්වෙලා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ගුරුවරුන් සියයකට පමණ මෙන් ම පාසල් දරුවන් දහසකට පමණ මේ වන විටත් රෝගය වැළඳිලා කියලා අපිට වාර්තා වෙලා තිබෙනවා. උතුරු මැද ප්‍රධාන පාසල් රැසක පන්ති රැසක් වසා දමා තිබෙනවා. පාසල් දරුවන්ගේ පැමිණීම ඉතාමත් අඩු මට්ටමකට පැමිණිලා තිබෙනවා. මේ වන විට මෙරට පාසල් පද්ධතියේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව මවුපියන්ගේ විශ්වාසය සම්පූර්ණයෙන් ම බිඳ වැටිලයි තියෙන්නේ. මේ තත්ත්වයට රජය වගකිව යුතුයි. මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරලා නිසි සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කළේ නැත්නම් ඉතා ඉක්මනින් නැවතත් පාසල් වසා දමන්න වෙනවා. ඒ වගේ ම පාසල් කොවිඩ් පොකුරක් නිර්මාණය වන එක කාටවත් නවත්වන්න බෑ. තවත් පමා නොවී වගකීමෙන් අවශ්‍ය පියවර ගත්තොත් මේ ව්‍යසනය නවත්තන්න රජයට පුළුවන්. 

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්න රුපියල් බිලියන 30ක් වෙන් කළා කියලා රජය කීවත් රජය ක්‍රියාත්මක වන ආකාරය දුටුව ම ඒ සම්බන්ධයෙන් බරපතළ සැකයක් උද්ගත වෙලා තිබෙනවා. රජය අපිට පොරොන්දු වුණා ගුරු සේවය සංවෘත සේවයක් බවට පත්කරන ගැසට් පත්‍රය නොවැම්බර් 20 දින නිකුත් කරනවා කියලා. නමුත් මේ දක්වා ම ඒ ගැසට් පත්‍රය නිකුත් කරලා නෑ. එහෙම කරන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීම තව තවත් කල් මරන්නද කියලා අපට සැකයක් තියෙනවා. තවදුරටත් අපිව රවටන්න උත්සාහ කරනවා නම් ජනවාරි 21 දින සිට අපි දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ගය බරපතළ වේවි.

මේ රටේ දේශපාලකයන් මේ වන විට කොරෝනාව පැත්තකට දාලා ජනප්‍රිය පාසල්වලට ළමයින් පිරවීමේ තරගයක නිරත වෙලා ඉන්නවා. 2021 වසර වන විට එක පන්තියක ළමයින් 35ක් පමණක් සිටිය යුතු බවට අධිකරණ නියෝගයක් තියෙනවා. නමුත් නීතිපති උපදෙස්වලින් පවා තොරව මේ වන විට රජයේ පාසල්වලට ළමයින් 40 දෙනෙක් ඇතුළත් කරන්න කියලා විදුහල්පතිවරුන්ට ලිපියක් මගින් දැනුම් දීලා තිබෙනවා. මේක අධිකරණයට අපහාස කිරීමක්. තීන්දු නොතකා හැරීමක්. අපි විදුහල්පතිවරුන්ට කියනවා මේ ලිපියට අනුව ළමයින් 40 ක් ඇතුළත් කරන්න එපා කියලා. අපි අනිවාර්යයෙන් ම මේ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවරක් ගන්නවා. අධිකරණ තීන්දුවට ගරු නොකරන සියලුම දෙනාට එදාට අධිකරණය හමුවේ පෙනී සිටින්න වෙනවා."

Post a Comment (0)
Previous Post Next Post