ජනපතිවරයා පසුගියදා පැවැති උත්සවයකදී දෝෂාරෝපණය කරන ලද්දේ විපක්ෂයටද? එසේත් නැත්නම් අගමැති මහින්ද රාජපක්ෂට දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු විමසීය. මන්ත්‍රීවරයා මෙම ප්‍රශ්නය නගනු ලැබුවේ ඊයේ (08 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එළැඹෙන නොවැම්බර් 16 වැනිදාට ගොවීන් ලක්ෂ 20ක් මහ මගට කැඳවන බවද හෙතෙම අවධාරණය කළේය.
‘‘ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණන්න දාලා තියෙනවා කියලා මේ දවස්වල පත්තරවල ලොකුවට පළවෙලා තිබෙනවා. ජනාධිපතිතුමා පසුගිය දවසක කරපු කතාවේදීත් මේ ගැන කිව්වා. එතුමා සංචාරය යනකොට ගෙනිච්චේ හත්දෙනයිද අටදෙනයිද කියලා කිව්වා. අගමැතිවරයා ඉතාලියට ගියපු වෙලාවේ පනස් ගණනක කණ්ඩායමක් රැගෙන ගියපු එක බොරුද? එතකොට ජනාධිපතිතුමා ඇත්තටම බැන්නේ අපිටද? අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයටද?’’
මෙතරම් පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණා දැමීමට ඉඩ නොදී 2015 සිට 2019 දක්වා පවත්වාගෙන යෑමට සිය ආණ්ඩුව කටයුතු කළ බවද හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහි දී පෙන්වා දුන්නේය. නමුත් වත්මන් ආණ්ඩුවේ සියලුම දේ විකුණා දැමීමේ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයද විකුණා දැමීමට පියවර ගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මේක ගොවීන්ගේ උද්ඝෝෂණයක් විතරක් නෙමෙයි කිරිපිටි, ගෑස්. අත්‍යවශ්‍ය සෑම දෙයක්ම නැති සියලුම ජනතාවට එළියට බහින්න සිද්ධ වෙන දවස වැඩි ඈතක නෙමෙයි. ඒ දිනය තමයි දාසය වැනිදා. අපි මේ උද්ඝෝෂණය ගැන ඉදිරි දවස්වල දී කියන්නම්. දැනටම උසාවි යන්න උත්සාහ කරනවා ඇති. නමුත් ඔය කිසිදේකට බය නැති පිරිසක් එදාට පාරට බහිනවා කියලා කියන්න කැමතියි.’’
මේ වන විට ඡන්දයක් ද නොතිබියදී පොලිසියේ අලුත්ම රාජකාරිය වී ඇත්තේ පෝස්ටර් ගැලවීම බවද මන්ත්‍රීවරයා මෙහි දී පෙන්වා දුන්නයේ. පොලිසිය යුනිෆෝම් ගලවලා පෝස්ටර් ගලවනවා. ලැජ්ජයි බැසිල් මහත්තයෝ අපි ආවයි කියලා ඔච්චර බයවෙන්න එපා.