“මගේ මහත්තයා අහිංසක කෙනෙක්. කොහේ හරි ඉන්නවා නම් මගේ මහත්තයාව ගෙනත් දෙන්න පිං අයිති වෙයි… එයාව අතක් පයක් කඩලා හරි පුළුවන් නම් ගෙනත් දාන්න. මගේ දරුවෝ දෙන්නාට තාත්තා කෙනෙක් ඕනේ… අපි හරිම සතුටෙන් ජීවත්වුණු පවුලක්… අපිට කරදර පිට කරදර තිබුණු කාලයක් තිබුණා… ඒ කාලෙ මෙහෙම දෙයක් සිද්ධ වුණා නම් ඇත්තටම හිත හදාගන්න තිබුණා… ඒ කරදර ඉවරවෙලා අපි සතුටෙන් ජීවත් වෙලා හිටියේ… දරුවන්ගේ අනාගතේ පටන්ගත්තා විතරයි තාම… ඇයි අපිට මෙහෙම දෙයක් වුණේ…”
මේ පසුගියදා වැලිමඩ නගරයෙන් අසන්නට ලැබුණු ඛේදනිය සිදුවීමකින් අසරණ වුණු කාන්තාවකගේ විලාපයයි. ඇය එසේ විලාප නඟන්නට වුණේ ඇගේ ස්වාමිපුරුෂයා හිටි හැටියේ අතුරුදන් වීම හේතුවෙනුයි. මීට වසර කිහිපයකට ඉහතදී රටම කම්පා කරමින් කාන්තාවන් ගණනාවක් දිනෙන් දින අතුරුදන් වීමේ සිදුවීම් වාර්තා වුණේ රත්නපුර කොටකෙතන ගම්මානයෙන්. ඊට යම් සමානකමක් දැක්වුවද වැලිමඩ ප්‍රදේශයෙන් මේ වන විට අතුරුදන්ව ඇත්තේ පිරිමි පුද්ගලයන් වන අතර වසරක කාලයක් තුළ මෙලෙස පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව තිබෙනවා..
$ads={2}
වැලිමඩ පොලිසියේ අපරාධ අංශයේ තුසිත් කුමාර් මහතාගෙන් මෙම අතුරුදන්වීම් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ විමර්ශන සිදුකරන බවයි. එසේම මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන හැටන් සහ නාවලපිටිය ප්‍රදේශවල තාවකාලික පදිංචිකරුවන් පිරිසක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹා ඇති බවයි.
පසුගිය ඔක්තෝබර් 26 වැනිදා අතුරුදන්ව ඇත්තේ වැලිමඩ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 46 හැවිරිදි ප්‍රේමසිරි නෙලුම්දෙණිය නමැත්තෙක්. ඔහු සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයකු ලෙස සේවය කරමින් සිට ඇති අතර දරුවන්ට ආහාර රැගෙන ඒම සඳහා වැලිමඩ නගරයට ගිය අතරතුර ඔහුව කිසියම් පිරිසක් විසින් ත්‍රිරෝද රථයක බලහත්කාරයෙන් නංවාගෙන පැහැරගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළිකරගෙන තිබෙනවා. පැහැරගැනීමේ සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශනද සොයාගෙන ඇතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකිවී නැහැ.
පැහැරගැනීමට ලක්වූ ප්‍රේමසිරි නෙලුම්දෙණිය මහතා දරුවන් දෙදෙනකුගේ පියෙක්. ඔහුගේ වැඩිමහල් දියණිය චාමිකා ගයත්‍රී, බණ්ඩාරවෙල මධ්‍ය විදුහලේ උසස් පෙළ හදාරන අතර, දුමිඳු කල්හාර වැලිමඩ විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා.
තම ස්වාමිපුරුෂයා අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රේමසිරිගේ බිරිය වන නිල්මිණි සේමචිත්රා මහත්මිය මෙලෙස අදහස් පළ කළා.
“පසුගිය 26 වැනිදා මගේ මහත්තයා වැඩට ගිහින් සවස 2.30ට විතර ගෙදර ආවා. නැවතත් සවස 4ට විතර ටවුමට ගියේ එළවළුයි හවස තේ බොන්න මොනවා හරි අරගෙන එන්නම් කියලා. අපි මහත්තයා එන්න පරක්කු නිසා හවස 5.30ට විතර මහත්තයට කෝල් කරලා බැලුවා. එතකොටත් ෆෝන් එක වැඩ කළේ නැහැ. එයා අතුරුදන් වෙලා අදට දවස් 26ක් වෙනවා. අපි දන්න දේවාල ගානේ ගියා. සාස්තර අහනකොට කියන්නේ තුන්දෙනෙක් එක්ක හිරකරගෙන ඉන්නවා කියලා. දරුවෝ කියනවා තාත්තා කවදා හරි ආපහු එයි කියලා. පොලිසියෙන් කියන්නේ ඔයාලත් හොයන්න, ඔයාලට තොරතුරක් ආවොත් අපිට කියන්න කියලා. නමුත් තාමත් විසඳුමක් නැහැ. මම දන්න විදියට මගේ මහත්තයට තරහාකාරයෝ හිටියෙ නැහැ. අපි කුළුබඩු පැකට් කරලා අලෙවි කිරීම ස්වයං රැකියාවක් විදියට කළා. අපට ඒ ව්‍යාපාරය සති හතරයි කරන්න පුළුවන් වුණේ. පස්වැනි සතියේ මහත්තයා නැහැ.
මහත්තයා එයාගෙ කාර්යාලයේ කවුරු ආශ්‍රය කළාද කියලා අපි දන්නේ නැහැ. ගමේ සංගීත සංදර්ශනවලටත් යනවා සින්දු කියන්න. ඊට අමතරව එයා මඟුල් පෝරු, පිරිත් මණ්ඩපත් හදනවා. මඟුල් ගෙදරකදි ඇරෙන්න මත්පැන් පානය කරන්නෙත් නැහැ. ගොඩාක් ආගම දහම එක්ක බැඳිච්ච කෙනෙක් එයා.
අපි මහත්තයාව කැලෑ ගානේ ගංගාවල් ගානේ පීර පිරා හෙව්වා. ඒ පාරේ හවස යනකොට එක සෙරෙප්පුවක්, පර්ස් එකක් ගෙනත් දාලා ගිහින් තිබිලා හම්බවුණා. ඒවා හම්බවෙලා තිබුණේ ඇටම්පිටිය හරියේදි. පොලිසියට අපි මේ ගැන කිව්වාම එයාලා කිව්වේ ඔයාලා හොයන නිසා ඒවා ඒ පැත්තට කවුරු හරි ගෙනත් දාන්න ඇති කියලා. මේ ගමේ මීට වැඩිය දේවල් සිද්ධ වෙලා තියෙනවා. මීට වඩා අවධානයෙන් කටයුතු කරලා මෙවැනි අපරාධ වළක්වන්න කටයුතු කරන්න කියලයි අපි පොලිසියෙන් ඉල්ලන්නේ. මේ වගේ දේවල් යට යන හින්දා තමයි මේ ගමේ මේ වගේ අපරාධ තව තවත් සිද්ධ වෙන්නේ….”
සිය බාල සහෝදරයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ප්‍රේමසිරිගේ සහෝදරිය වන ධනවතී මහත්මිය මෙසේ පැවැසුවා.
“මගේ මල්ලිට මොනව වුණාද කියන්න දන්නේ නැහැ සී.සී.ටී.වී. කැමරා දර්ශනවල තියෙනවා තුන්දෙනෙක් මල්ලිව ත්‍රීවීල් එකට දාගන්නවා. වැලිමඩ ඉඳලා ඒ ත්‍රීවීල් එකේ ගෙනිහින් බදුල්ලේදි වෙනත් වාහනයකට දාගත්තා කියලා ඒ ත්‍රීවීල් අයිති කෙනා කියලා තියෙනවා. අපේ මල්ලි සතෙකුටවත් හිරිහැරයක් නොකරන හරි අහිංසක කෙනෙක්. එයාට ඇයි මෙහෙම වුණේ කියලා අපි කල්පනා කරන්නේ. මේ සිද්ධියත් එක්ක මල්ලිගේ පවුල අසරණ වෙලා ඉන්නේ….”
මේ අතුරුදන්වීමේ වේදනාව දැනෙන්නේ ප්‍රේමසිරිගේ පවුලේ අයට මිස වෙන කාටද? දරු දෙදෙනකුට පියෙකුත්, බිරියකට සැමියකුත් අද අහිමි වෙලා. ඒ දරුවන් තම ආදරණීය තාත්තා කොයි මොහොතේ හෝ යළිත් ගෙදර ඒවි යන බලාපොරොත්තුවෙන් මඟ බලාගෙන සිටිනවා. පැහැරගැනීම සිදුකළ හේතුවක සේයාවක්වත් නොදන්නා ඒ දරුවන් මෙන්ම බිරියද මේ මොහොතේ අන්ත අසරණව සිටින බවට නම් සැකයක් නෑ.
ඒත් පිළිතුරු නැති මේ ප්‍රශ්නයට හෙට දිනයේ සොබාදහම පිළිතුරු ලබාදෙනු ඇති. ඒ පිළිතුරෙන් මේ දරු දෙදෙනාටත්, ඔහුගේ බිරියටත් සැනසීමක් ලැබේවා යන්න අප සැමගේ පැතුමයි.
ප්‍රේමසිරි නෙලුම්දෙණිය මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස ඔහුගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටිනවා.
0714959835 / 0788977783