බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් සිදුකරන ලද විමර්ශනවලට අනුව හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව හඳුනාගෙන ඇති පොලිසියේ 37 දෙනකු සේවයෙන් ඉවත් කිරීම හා පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට තීරණය කර තිබේ.
මෙම 37 දෙනා අතරින් 28 දෙනකුම කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවලට හා විවිධ ඒකකවලට අනුයුක්තව රාජකාරියේ නිරත අය බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත සියලුම පොලිස් ස්ථාන හා පළාත තුළ ස්ථාපිත ඒකකවල ස්ථානාධිපතිවරුන් විසින් කරන ලද විමර්ශන හා ඔවුන් වෙත ලැබී ඇති තොරතුරු මත පදනම්ව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම නිලධාරීන්ගේ නම් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම නිලධාරීන් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පසුගියදා බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත භාර දී තිබිණි. ඔවුන්ට එල්ල වන මෙම චෝදනා විද්‍යාත්මක වෛද්‍ය පරීක්ෂණවලට අනුව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට සහ පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර ඇත.
-එෆ්.අස්ලම්