කටත් අපේ නං, කෙළත් අපේ නං, කොහේ ගැහුවත් මොකද?


තැන නොතැන නොබලා ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගසන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි කියන පුවතට ඉහළ මහජන අවධානයක් යොමු වී ඇති බවක් දක්නට තිබේ. එහෙත් මෙම පුවත ගැන අවධානය යොමුකරන වැඩි දෙනකු එය ‘‘අමුතු’’ පුවතක් ලෙස සලකනවා මිස හරයාත්මකව එහි වැදගත්කම තේරුම්ගෙන තිබේද යන්න සැක සහිතය. මේ නිසා ඇතැමකුට මෙම පුවත හුදු හාස්‍ය දනවන එකක් වී ඇති ආකාරයක්ද දක්නට තිබේ. රටේ සිදුවන දේ අනුවත්, අපේ පොලිසියේ කල්කිරියාව අනුවත් එලෙස කල්පනා කිරීමේ එතරම් වරදක් කිව නොහැකි නමුත්, ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගැසීම තහනම් කිරීමට ගත් තීරණය තදින්ම ක්‍රියාත්මක කළ යුතු ඉතා වැදගත් තීරණයක් බව කිව යුතුය.

ප්‍රසිද්ධ ස්ථානවල කෙළ ගැසීම වැඩි දෙනකු ඉතා සුළුවෙන් සලකන, ඇතැමකු කිසිසේත්ම තැකීමක් නොකරන ක්‍රියාවක් වුවත්, ඉන් පීඩාවට පත් වන්නාට එය බරපතළ කාරණයකි. මෙලෙස චාරයකින් තොරව මහමඟදී කෙළ ගැසීමේ චෝදනාව වැඩි වශයෙන් එල්ල වන්නේ බස් රථ රියැදුරන්ට වුවත් මේ වරදම කරන සුපිරි වාහනවලින් යන දැන උගත් අයද සිටිති. තවත් කෙනකු ගැන නොසිතා කෙළ ගසමින් පරිසරය අපවිත්‍ර කිරීම ඉතාමත් අශෝභන, අශිෂ්ට, ග්‍රාමීය ක්‍රියාවකි. එසේම එය හුදෙක්ම පෞද්ගලික වරදකටත් වඩා සමස්තයක් ලෙස අපේ සමාජ සංවර්ධනයේ තරම කියාපාන සාධකයක් ලෙසද සැලකිය හැකිය.

මේ සියලු කරුණු කාරණා අමතක කළද මේ වසංගත සමයේ කොවිඩ් පැතිරීමටද අපේ මෙම අශෝභන ක්‍රියාව හේතුවක් විය හැකි බව අමතක කළ නොහැකිය. පොලිසිය පවා මේ ගැන අවධානය යොමුකර ඇත්තේ පොලිස් ආරක්ෂක හා ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා ගම්පහදී පැවැති වැඩමුළුවකදී මාධ්‍යකරුවකු මෙම සෞඛ්‍ය අවදානම පෙන්වා දුන් පසුවය.

තැන තැන කෙළ ගැසීම පමණක් නොව කුමන හෝ ආකාරයකින් තවත් කෙනකුට හිරිහැරයක්, කරදරයක් මෙන්ම සෞඛ්‍ය අවදානමක් ඇති කරන ක්‍රියාවලින් වැළකී සිටීම දියුණු මිනිසුන්ගෙන් සමන්විත දියුණු සමාජ ලක්ෂණයකි. මෙවැනි ක්‍රියා වළක්වා ගත හැක්කේ නීති පැනවීමෙන් නොව අපගේ සාරධාර්මික පැවැත්ම විසිනි. එහෙත් එවැනි ස්වයං හැදියාවක් නොමැති සමාජයක නීති පනවා හෝ එම හැදියාව ඇති කිරීමට උත්සාහ කිරීම අත්‍යවශ්‍යයෙන්ම ගත යුතු පියවරකි.

මෙහිදී බොහෝ දෙනා මතුකරන කාරණයක් වන්නේ මෙම තීරණය කොතරම් වැදගත් විය හැකි වුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට හැකියාවක් තිබේද යන්නය. විශේෂයෙන්ම දැනට තිබෙන දහසකුත් රාජකාරී අතරේ මහමඟ කෙළ ගසන අය ඇල්ලීමටත් පොලිසියට කාලයක් තිබේද යන්නය. මෙම තර්කයේ ඇත්තක් නැතැයි කිව නොහැකිය. ඒ නිසා පොලිසිය මේ මොහොතේ සිට මහමඟ කෙළ ගසන සියලු දෙනා අල්ලා උසාවිවලට ගාල් කරනු ඇතැයිද අප අපේක්ෂා කරන්නේ නැත. එහෙත් පොලිසිය මේ සඳහා ගන්නා ආරම්භය තවත් අය එම වරද නොකර සිටීමට පෙලඹවීමක් යැයි කිව නොහැකිද?

ඇත්ත වශයෙන්ම ශිෂ්ට සම්පන්න රටවැසියන් ලෙස, රටේ අනෙක් හැම දෙනා ගැනම සිතන, වගකීම් සහගත රටවැසියන් ලෙස අපගේ වගකීම විය යුත්තේ මෙම තීරණයේ ප්‍රායෝගික වලංගුතාව ගැන ප්‍රශ්න කිරීම නොව එය සාර්ථක කර ගැනීමට අපට හැකි හැම සහයක්ම ලබා දීමය. අප කවුරුත් මහමඟ කෙළ ගසමින් සතුන් සේ නොහැසිරෙන්නේ නම්, පොලිසියට කිසිදු කරදරයක් ඇත්තේ නැත. අප තනි තනිව වගකීම් සහගතව කටයුතු කරන්නට පියවර ගන්නේ නම් මුළු සමාජයම නිරායාසයෙන්ම වගකීම් සහගත විනයගරුක සමාජයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතුද?

මිනිසකුගේ හැදියාව සකස් වන්නේ පවුල, පාසල, ආගම, සම කණ්ඩායම් ආදී සමාජ සංස්ථාවන්ගේ ආශ්‍රයෙනි. මේ නිසා මහමඟ කෙළ ගැසීම වළක්වා ගැනීමට පොලිසිය නීතිය අතට ගැනීමට පෙර ක්‍රියාත්මක විය යුත්තේ මෙකී සමාජ සංස්ථාවන්ය. දරුවකුට කුඩා කල සිට නිසි දැනුවත් කිරීමක් ලබා දෙන්නේ නම් ඔහු මහ උගතකු, වියතකු නොවුණත් යහපත් මනුෂ්‍යයකු බවට පත් නොවනු ඇත්ද? මේ නිසා මහමඟ කෙළ ගැසීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සමගාමීව පුළුල් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීම වැදගත් වනු ඇත. මෙහිදී පෞද්ගලික බස් හිමියන්ගේ සංගම්, ත්‍රිරෝද රථ සංගම් ආදියට මෙන්ම පන්සල්, පල්ලිවලටද විශාල වැඩ කොටසක් කළ හැකිය. එසේම පොදුවේ සමස්ත සමාජය දැනුම්වත් කිරීමේලා ජනමාධ්‍යයටද වැදගත් මෙහෙයක් කළ හැකිය.

මහමඟ කෙළ ගැසීම මෙන්ම අප කවුරුත් විසින් කරනු ලබන අනෙකුන්ට හිරිහැරයක්, කරදරයක් වන තවත් ක්‍රියා රාශියක් තිබේ. පදික වේදිකා, මහජනතාවට ගමන් කළ නොහැකි ආකාරයට පදික වේදිකාව තමන්ගේ භුක්තියට සවිකර ගැනීම, පදික වේදිකා හා අතුරු මාර්ග මෙන් ප්‍රධාන මාර්ගයද අවහිරවන පරිදි වාහන නවතා තැබීම, අනතුරුදායක ලෙස විදුලි වයර් ඇදීම, තමන්ගේ ගෙදර තිබෙන සියලු කුණු කසළ මඟ දෙපස ගොඩ ගැසීම ඒ අතුරින් ප්‍රධානය. මඟ දෙපස කුණු කසළ දැමීම මීට කලකට පෙර නැවතී තිබුණත් දැන් යළිත් එය කාටත් අමතක වී යන තත්ත්වයක් දක්නට තිබේ. මාර්ගයේ යන වාහන කිසිදු වග විභාගයකින් තොරව කසළ මාර්ගයට දැමීම, කවදත් සිදු වූ අපත ක්‍රියාවකි. අඩුම වශයෙන් මාර්ගයක ගමන් කරද්දී දකුණෙන් ගමන් කළ යුතු බව හෝ අමතක වූ පිරිස්ද සිටිති. මේ සියලු දේට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි නමුත් මේ හැම දෙයක්ම අවබෝධයෙන්, දැනුවත්කමින්, මෙන්ම සමාජය පිළිබඳ අනෙක් මිනිසුන් ගැන, වගකීමකින් අපට වළක්වාගත හැකි වැරදිය.

$ads={2}

අප කවුරුත් සමාජයක් ලෙස මේ සියලු වැරදි අඩු වැඩි වශයෙන් කරන නමුත් රටේ නීතියක් නැතැයි චෝදනා කරන්නන්ගේ නම් අඩුවක් නැත. රට සමාජයීය වශයෙන් පිරිහී ඇතැයි කියන්නට බොහෝ අය සිටින නමුත් රට හදන්නට පෙර තම තමන් නිවැරදි විය යුතු යැයි කල්පනා කරන්නේ ඉතාමත් සුළු පිරිසකි. නීතිය ක්‍රියාත්මක වීමෙන් සමාජ විනය ආරක්ෂා වීමෙන් ඉහළ තැනක සිටින බව කියන රටවල ජීවත්වන හා ජීවත් වූ අය කියන්නේ මෙවැනි ඇතැම් රටක පාරේ ටොෆි කොළයක් දැමූවත් දඩ කෑමට සිදුවන බවය. එහෙත් එසේ කියන අයමද කටුනායකින් රටට පා තැබූ මොහොතේ සිට තමන් ජීවත් වූ රටේදී පුරුදු පුහුණු කළ යහ ගුණ අමතක වී යන්නේය.

මේ කියන අමනකම්වලින් තොර ඉහළ ජීවන දැක්මක් හා පැවැත්මක් ඇති සමාජයක් ඇති කර ගැනීමට නම් අප කාටත් විශාල ආකල්ප වෙනසක් කරගත යුතු වනු ඇත. එහෙත් එවැනි ආකල්ප වෙනසක් සඳහා කිසිම පෙලඹවීමක්, ආරම්භයක් දැක ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ අඩුම වශයෙන් නීතියෙන් හෝ ඒ සඳහා මුල් පියවර තැබිය යුතුය. එහෙත් එවැනි නීති හඳුන්වා දෙන්නා සේම, ඒවා මැනවින් ක්‍රියාත්මක වන බවට වගබලා ගැනීම පොලිසිය හා අදාළ ආයතනවල වගකීමය. එසේ නොවුණොත් මෙවැනි නීති විහිළුවක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.

Post a Comment (0)
Previous Post Next Post