ඉන්ධන මිල වහා වැඩි කරන්නයි කබ්රාල් දැනුම් දීලා...අපහසු තීන්දු රැසක් ගන්න වෙනවා

කඩිනමින් ඉන්ධන මිල වැඩි කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දන්වා තිබේ. පසුගිය දෙසැම්බර් 10 වැනි දින ලිපියක් මගින් ඔහු දන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇති බවයි.

ඒ අනුව පෙට්‍රල් රුපියල් 35ක්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහාම වැඩි කළ කර ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට පියවර ගත යුතු බවද ඔහු පෙන්වා දී තිබේ. කෙසේ නමුත් මෙම ලිපිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

$ads={2}

මේ අතර ඉදිරි ඉන්ධන අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ඇණවුම් කිරීම සඳහා ඩොලර් නිකුත් නොකිරීම නිසා ණයවර ලිපි නිකුත් කිරීම ද අතරමග නැවතී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

ආර්ථිකයට බරපතලයි.. අපහසු තීන්දු රැසක් ගන්න සිදු වෙනවා – කැබිනට් සම ප්‍රකාශක

ඉදිරියේදී අපහසු තීන්දු කිහිපයක් ගැනීමට සිදුවනු ඇති බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි. පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙරටට ඩොලර් ආදායම් විශාල වශයෙන් අහිමි වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි ද ඔහු පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නොවූ බවද පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද සඳහන් කළේය.

තවදුරටත් ණය ලබා ගැනීමට ආණ්ඩුවට අදහසක් නොතිබූ නමුත් පසුගිය වසර දෙකක කාලය තුළ රට මුහුණ දුන් තත්ත්වය මත ආර්ථික වශයෙන් අසීරු තත්වයකට රට පත්ව ඇතැයිද ඔහු පැවසීය.

විදෙස්ගත ශ‍්‍රමිකයෝ ඩොලර් ලංකාවට නොඑවති…. විදේශ ලැබීම් තවත් හිදේ..!

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2021 නොවැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 271.4 ක් වේ. මෙය පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ලද ප්‍රේෂණවල වටිනාකම වූ ‌ඩොලර් මිලියන 611.7 හා සැසඳීමේ දී 55.6% ක පහළ යාමකි. මේ අතර 2021 වසරේ මුල් මාස 11 තුළ දී ලැබී ඇති ප්‍රේෂණවල සමස්ත වටිනාකම ඩොලර් මිලියන 5,166.3 ක් වන අතර එය 2020 වසරේ පළමු මාස 11 අදාළ වටිනාකම වූ ඩොලර් මිලියන 6,291.2 හා සැසඳීමේ දී 17.9% ක පහළ යාමක් වේ.

2021 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය ඩොලර් මිලියන 317.4 ක් වූ අතර එය 2020 ඔක්තෝබර් මාසයේ අගය වූ ඩොලර් මිලියන 630.7 ට වඩා 49.6% ක අඩුවීමකි.

මේ අතර විදෙස්ගත ශ්‍රමිකයින් විසින් ‌මෙරටට මුදල් එවීමේ දී නිල මාර්ග පමණක් යොදා ගන්නා ලෙසත්, නිල නොවන මාර්ගවලින් මුදල් ප්‍රේෂණය කිරීම දැනුවත්ව හෝ නොදැනුවත්ව නීතිවිරෝධී කටයුතුවලට සහාය දීමක් බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කර සිටියේය.

– adaderana 


Post a Comment (0)
Previous Post Next Post