''ලිට්‍රෝ සමාගම විකිණීමේ උත්සහයක්?: ගෑස් පිපිරීම් පිටුපස ආණ්ඩුව සිටිනවා දැයි සැකයක්''


ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව සිදුවෙමින් පවතින පිපිරීම් "ලිට්‍රෝ ගෑස් සමාගම විකුණා දැමීම සඳහා දරන උත්සාහයක මූලාරම්භයක්," බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (දෙසැ.02) දින පාර්ලිමේන්තුවේදී ඔහු සඳහන් කළේ, ගෑස් පිපිරීම් හේතුවෙන් ජනතාව ආහාර පිසීම සඳහා විකල්ප ක්‍රමවලට යොමුව ඇති බැවින් එවැනි වටපිටාවක ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් වන ඉල්ලීම ද පහළ යමින් පවතින බව ය.

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් ජනතාවගේ ඉල්ලීම ද පහළ ගොස් ඇති මෙවැනි විටෙක ගෑස් ගෙන්වීමේ ගෙවීම් අවම වනු ඇති බව ඔහු සඳහන් කළේ ය.

තව ද ලාභ ලබමින් සිටි ලිට්‍රෝ සමාගම මේ වන විට එහි අගැයීම් ක්‍රියාවලිය සඳහා ප්‍රසම්පාදන කැඳවීම් සිදු කර ඇති බව ද ඔහු පැවසී ය.

ඔහු ප්‍රශ්න කළේ, "ලිට්‍රෝ එක විකුණන්න පාරක් කපන්න ද මේ අපේ අහිංසක මිනිසුන්ගේ ගෙවල්වල සිලින්ඩර් පුපුරන්නේ?" යනුවෙනි.

එබැවින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේ ය.

"ගෑස් සිලින්ඩර් පුපුරන එක පිටිපස්සේ මේ ආණ්ඩුව ඉන්නවා දැයි කියන සැකය අපිට මතුවෙනවා," යනුවෙන් ඔහු සඳහන් කළේ ය.

වැඩිදුරට ත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, "පාස්කු ත් එක්ක සෙල්ලම් කරලා ආණ්ඩු ගත්ත මිනිසුන්ට මේ ගෑස් සිලින්ඩරයක් පුපුරන එක මහ ලොකු දෙයක් ද?" යනුවෙනි.

$ads={2}

"මේ දවස් ටිකේ දිගින් දිගට ම කතා වන ගෑස් ප්‍රශ්නය. දැන් මෙතුමාලගේ නැව්වලින් ඔය ගෑස් ගෙනල්ලා බාන්නේ. දැන් සමහර අය කියනවා ප්‍රොපේන් 50%ක් වැඩි කරලා තියෙනවා කියලා මේ 50:50 වුණා කියලා. මට තේරුම්ගන්න බෑ ප්‍රොපේන් ඩොලර් 40ක් විතර වැඩියි. එතකොට ගෑස් ගෙන්න බැරි, සල්ලි නැති අපි ඇයි මේකට ප්‍රොපේන් 50%ක් ගහන්නේ පුපුරන්න කියලා? මට තියෙන ප්‍රශ්නේ ඒක නොවෙයි. හොඳට ම අහගන්න ඕනේ මේ කතාව. මට හිතෙන්නේ ලංකාවේ මිනිසුන්ට තේරෙන්න ඕනේ මේ ගෑස් සිලින්ඩර නිකන් පුපුරන්නේ නෑ. ලෝකයේ අපි අහලා තියෙනවා ද ගෑස් සිලින්ඩර පුපුරනවා? දැන් කියනවා මේකෙ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක ත් නොවෙයි. මං ඔබතුමාට පැහැදිලිව කියනවා මම සභාගත කරනවා මේ නැව්වලින් බාන කොට සැප්තැම්බර් ඉඳන් ඔක්තෝබර් ඉඳන් නැව්වලින් බාන කොට තිබුණු Composition එක ඒ රටෙනු ත් බලනවා මේ රටෙනු ත් බලනවා‍. එතකොට එහෙම වෙන්න බෑ. වෙන කොහේ හරි සෙල්ලමක් තියෙනවා.

මොකද්ද දන්නවා ද සෙල්ලම? ඊයේ පෙරේදා ඔබතුමාලා දැක්කා ද ලිට්‍රෝ සමාගම Valuation කරනවා? Valuation කරන්න Procurement දාලා තියෙනවා ටෙන්ඩර් එකක්. එතකොට එක පැත්තකින් ඩිමාන්ඩ් එක අඩු කර ගන්නවා පුපුරනවා කියලා. මිනිසු දරවලට යන්න හදනවා. ඉලෙක්ට්‍රික්වලින් උයන්න පුළුවන් සල්ලි තියෙන මිනිස්සු ඉලෙක්ට්‍රික්වලින් උයනවා. ගෑස්වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. සල්ලි ගෙවන්න තියෙන ප්‍රමාණය ඒ තරම් ම යන්නේ නෑ එතකොට. ආණ්ඩුවට පොඩි චාන්ස් එකක් එනවා. ඊට වඩා ලොකු ම එක තමයි ලිට්‍රෝ එක ලාභ ලබපු සමාගමක් Valuation කරන්නේ මේ හදිසියේ මොන බම්බුවට ද? එතකොට ලිට්‍රෝ එක විකුණන්න පාරක් කපන්න ද මේ අපේ අහිංසක මිනිසුන්ගේ ගෙවල්වල සිලින්ඩර් පුපුරන්නේ? හිතලා බලන්න. වෙන ම පැත්තක්. මේ ඔක්කෝම තාක්ෂණික දේවල් ගැන කතා කරනවා. නෑ, මේ ජීවිත ත් එක්ක සෙල්ලම් කරන්නේ.

මම හැම දා ම කිව්වේ පාස්කු ත් එක්ක සෙල්ලම් කරලා ආණ්ඩු ගත්ත මිනිසුන්ට මේ ගෑස් සිලින්ඩරයක් පුපුරන එක මහ ලොකු දෙයක් ද? මම ඉල්ලීමක් කරන්නේ. මේක හොයා බලන්න. මේ ගෑස් සම්බන්ධයෙන් මම කියනවා ලිට්‍රෝ සමාගම අනිවාර්යයෙන් විකුණන්න හදන විශාල ගේමක මූලාරම්භයක් තමයි ගෑස් සිලින්ඩර් පුපුරන්නේ‍. අන්න අපි හිතුවාට මාර මොළ හතේ බඩු තමයි. සුපිරි මොළ හතේ බඩු. මොළ හතක් ම තියෙන්න ඒකනේ එය වගේ ගේමක් ගහලා ලිට්‍රෝ එක විකුණන්න. ඒ නිසා නිකන් නැට්ට උඩ දාගෙන කෑගැහුවාට ගෑස් සිලින්ඩර් පුපුරන එක පිටිපස්සේ මේ ආණ්ඩුව ඉන්නවා දැයි කියන සැකය අපිට මතු වෙනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ."

Post a Comment (0)
Previous Post Next Post