79 වියැති සිරිල් හා 62 වියැති ලියෝනි අතිනත ගනී - ආදර සම්බන්ධය පටන් ගත්තේ වසර හයකට කලින්


වයස අවුරුදු 62ක් වන ඇගේ නම එස්. ලියෝනි ප්‍රනාන්දුය. ඇය මාස 9 සිට දෙපා ඔත්පලව රෝද පුටුවක ජීවත් වෙයි. ඇගේ මනාලයා සිරිල් ගුණවර්ධනය. ඔහුට වයස අවුරුදු 79කි. මේ දෙදෙනා ඊයේ (08 වැනිදා) සුබ මොහොතින් විවාහ දිවියට එළඹුණි. මනාලිය මොරටුවේ උපන්නියකි. මනාලයා පමුණුගමය. දෙදෙනාම ජීවත් වන්නේ සඳලංකාවේ පිහිටි රජයේ සමාජ සේවා අමාත්‍යාංශය හරහා වෙල්කම් ගම්මානය මගින් පාලනය වන වෙල්කම් විලේජ් වැඩිහිටි නිවාසයේය.

$ads={2}

සිරිල් මෙම වැඩිහිටි නිවාසයේ නේවාසිකයකි. ලියෝනිත් එහි නේවාසිකව සිටී. දෙපා අප්‍රාණික ලියෝනිගේ සියලු අවශ්‍යතා ඉටු කර දෙන්නේ සිරිල්ය. කාලය මෙසේ ගතවෙද්දී මීට වසර 06කට පමණ පෙර සිට දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ගොඩනැඟිණි. ඒ ආදරය මල්පල ගන්වමින් මෙලෙස විවාහ දිවියට පිවිසුණි.

සිරිල්ට කිසිවකු නැති වුවත් ලියෝනිට සහෝදර සහෝදරියන් රැසක් සිටී. ඒ අයගේද ආශීර්වාදය ඇතිව විවාහ මංගල්‍ය උත්සවය ඉතා චාම්ව ගාම්භීරව කෙරිණි. විවාහ උත්සවය වත්තල, හැඳල, මාටාගොඩ පිහිටි ලියෝනිගේ ඥාති පුතකුගේ නිවසේ පැවැත්විණි. මනාල යුවළගේ ඇස් සතුටු කඳුළින් පිරී තිබිණි. දෙදෙනා ජීවත් වන්නට යන්නේ සඳලංකාවේ පිහිටි වෙල්කම් විලේජ් වැඩිහිටි නිවාසයටය. ඒ සඳහා පාලනාධිකාරිය අවසර දී තිබේ.

සිරිල් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරකු ලෙස සේවය කර ඇත. ලියෝනි කුඩා කල සිටම ගායනයට මෙන්ම මැහුම් ගෙතුම්වලටද දක්ෂය. ඇය 1993 වසරේ කොරියාවේ පැවැති ගායනා තරගයකටද වරම් ලද තැනැත්තියකි.

මෙම විවාහය සිදු කළ වත්තල කෙරවළපිටිය විවාහ රෙජිස්ට්‍රාර් එස්.එම්.එස්. පෙරේරා පවසනුයේ වසර 19ක සේවා කාලය තුළ මෙවැනි වයස් ඇති මනාලයකුට විවාහයක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය බවය.

-සරත් චින්තක - වත්තල

Post a Comment (0)
Previous Post Next Post