උපන් දිනයට විශේෂ වර්ගයේ බලුපැටවකු ගෙනවිත් දෙන්නැයි පවුලේ බාල සොයුරිය කළ පෙරැත්තයක් අනුව වැඩිමහල් සොහොයුරා විසින් බලුපැටවකු නිවෙසට ගෙනවිත් දීම පිළිබඳ උරණ වූ ඔවුන්ගේ පියා දරුවන් දෙදෙනාගේ දෑත් කපා බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් කොස්වත්ත පොලිසිය විසින් පියාව අත්අඩංගුවට ගෙන තිබේ.
එම දරුවන්ගේ පියා නිවෙසේ තිබූ මන්නා පිහියකින් බලුපැටවා නිවෙසට ගෙන ආ සිය පුත්‍රයාගේ හා උපන්දිනය සැමරූ බාල දියණියගේ දෑත් කපා බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් සැකකාර පියාව අත්අඩංගුවට ගෙන තිබිණි.
බටහිර කිරිමැටියාන තේක්ක මන්ඩිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ගාමිණී ජයලත් නමැති තිදරු පියෙකි. මෙම පවුලේ පියා සුනඛයන් ඇති කිරීමට දැඩි අකමැත්තක් දැක්වූ අයෙකි. එහෙත් පවුලේ බාල දියණිය සුනඛයන්ට දැක්වූ ඇල්ම නිසා සිය සොහොයුරා විසින් පසුගිය දිනක යෙදී තිබුණු ඇයගේ උපන් දිනය වෙනුවෙන් මෙම සුනඛයා ගෙනැවිත් දී තිබිණි.
වැඩි මිලක් ගෙවා ඇයට “ඩැල්මේෂන්’’ වර්ගයේ සුනඛ පැටවකු සිය නැගණියට ගෙනැවිත් දී ඇත. එම සුනඛ පැටවා නිවෙසට ගෙනා ආ දින සිටම පියාගෙන් දරුවන්ට නොයෙකුත් චෝදනා එල්ල වූ බව වාර්තා විය. එම සුනඛයාව නිවෙසින් වහා පිටකරන ලෙස ඔහු දරුවන්ට බලපෑම් කළත් දරුවන් ඊට අවනත වී නොතිබිණි. කෙසේ වෙතත් දින කිහිපයකට පසු අලුත් අවුරුද්ද උදාව සමගම සුනඛ පැටවා නිවෙසින් පිට කරන්නැයි කියමින් මෙම පියා නිවසේ වූ මන්නා පිහියක් අතැතිව ගහකොළවලට පහරදෙමින් දරුවන් බියපත් කර ඇති බව සඳහන් විය. ඊටද දරුවෝ අවනත නොවීම නිසා කෝපයට පත් පියා දරුවන්ව තව දුරටත් බිය ගැන්වීමට සිතා මන්නාපිහියෙන් නිවෙසේ පුටු වලටද හානි කර තිබේ.
$ads={2}
පියාව මෙල්ල කිරීමට මෙම දරුවන් ගත් සියලුම උත්සාහයන් ව්‍යර්ථවූ අතර අවසානයේදී පුතුගේ හා බාල දියණියගේ දෑත් පියාගේ පිහිපහරවලට කැපී බරපතළ ලෙස තුවාල වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා මාරවිල රෝහලට ඇතුළත් කෙරිණි.