“මා අද විශ්‍රාම ගියත් මට දුකක් නෑ මගේ පුතාත් සෞඛ්‍ය ක්ෂේත්රයට යොමු කරන්නට ලැබීම ගැන ලොකු සතුටක් දැනෙන්නේ. මම අවුරුදු පහළොවක් මේ ගිලන් රථය අරන් ගියා රෝගීන් 3000කගේ ජීවිත බේරුවා. රස්සාවල් ගොඩක් කළත් ඒ හැම එකටම වඩා සන්තෝසයෙන්ම කළේ මේ රැකියාව.’’
වැලිගම රෝහලේ සේවය කළ ගිලන් රථ රියැදුරෙකු වූ එච්. පියසෝම මෙසේ කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ රැකියාවෙන් විශ්‍රාම ලැබූ දින මෙතෙක් සේවය කළ ගිලන් රථයට වැඳ නමස්කාර කර සේවයෙන් සමු ගන්නා අවස්ථාවේදීය.
පිටබැද්දර, ගොරකවෙල ගම්මානයේ ජීවත් වන පියසෝම වෘත්තියෙන් ගිලන් රථ රියැදුරෙකි. ඔහු වී මෝලක, වෙළෙඳ සලක, තැපැල් කාර්යාලයක තැපැල් බෙදන්නෙකු සහ කම්කරුවකු ලෙසත් විවිධ රැකියාවල නිරතව ඇත. ඒ සෑම රැකියාවකටම වඩා ගිලන් රථ රියැදුරෙකු ලෙස වසර පහළොවක් කළ සේවය අන් සියලු රැකියාවලට වඩා වෙනස් බව කියා සිටියේ ආඩම්බරයෙනි.
“මම පුංචි කාලයේ ගිලන් රථයක් පාරේ යනකොට දුවගෙන ගිහින් ඒ දිහා බලාගෙන ඉන්නවා. මේ වගේ ලෙඩ්ඩුන් බේරගන්න ගිලන් රථ රියැදුරෙකු වෙනවා කියලා හිතාගෙනම වැඩ කළා. ඊට පස්සේ රෝහල් කම්කරුවකු ලෙස සෞඛ්‍ය ක්ෂේත්රයට පිවිසුණේ. ඊට පස්සේ තමයි දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හතළිස් දෙදෙනකුට ගිලන් රථ රියැදුරු රැකියා ලබා දුන්නේ. ඒ හතළිස් දෙනා අතරට මාවත් තේරුණා. මම වැඩ කළේ දෙණියාය, අතුරලිය, වැලිගම, වැලිපිටිය කියන රෝහල් වල. ඉන් වැඩිම කාලයක් වැලිගම ප්‍රාදේශීය රෝහලේ තමයි මම වැඩ කළේ. මේ කාලය තුළ අහිංසක රෝගීන් දහස් ගණනක් ජීවිත බේරා ගන්න ලැබීම ගැන මට අදටත් තියෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම පුංචි සතුටු කඳුළක් එනවා.’’
ඔහුට දරුවන් දෙන්නෙකි. ඔහුගේ පුතා රියැදුරු සහායකයකු ලෙස දෙණියාය රෝහලේ සේවය කරයි. පියසෝමගේ පවුලේ බොහෝ දෙනා රියැදුරු වෘත්තියේ නියැළී සිටි. සේවා කාලය තුළ පියසෝම ලද අද්දැකීම් අතුරින් අමතක නොවන මතකයක් පිළිබඳ මෙසේ හඬ අවදි කළේය.
$ads={2}
“මම වැලිගම රෝහලේ වැඩ කරන කොට නයෙක් දෂ්ට කරලා දරුවෙක් අරන් ආවා. දරුවාගේ වයස අවුරුදු 12ක් වත් නැතුව ඇති මහිතන්නේ. ඒ ඉස්කෝලේ දවසක්. ඒ ළමයාට හොඳටම අමාරු වෙලා තමයි ගෙනාවේ. මා දරුවාව අරගෙන ඉක්මනට වැලිගම ප්‍රාදේශීය රෝහලේ ඉඳලා මාතර මහ රෝහලට අරගෙන ආවා. විනාඩි 10ක් වත් ගියේ නෑ. මම පට ගාලා මාතර රෝහලට අරගෙන ආවා. එදා ඒ ළමයාව බේර ගන්න පුළුවන් වුණා මට අදටත් සතුටක් දැනෙන්නේ ඒක මතක් වෙද්දී. රැකියාවෙන් විශ්‍රාම යෑම දුකක්. ඇතැම් දිනවල දවසකට ලෙඩුන් 6 දෙනෙක් විතර ගෙනියනවා. මම බඩගින්නේ හිටපු වේල් නම් අනන්තයි අප්‍රමාණයි. ගෙදරින් ගෙනාපු බත් එක කන්න වෙලාවක් නැහැ. ඒ වගේම නින්දක් නැතිව ලෙඩුන් අරන් යන්න වෙච්ච වාරත් තිබුණා. හැබැයි දුකක් නැහැ. ලොකු සතුටත් තියෙන්නේ. මගේ රාජකාරිය හරියටම කළා කියලා අදටත් දැනෙන්නේ ලොකු සතුටක්.’’
පියසෝමට විශ්‍රාම යන දිනයේ තෑගි භෝග බොහෝමයක් රෝහලින් ලැබිණි. වෘත්තීය ජීවිතයේ අත්දැකීම් මෙන්ම අවංකව සිදු කරන ලද සේවාවන් විශ්‍රාම ලැබුවද තවත් බොහෝ කාලයක් නොමැකී පවති.
මහින්ද තැළිකෝරාලගේ - වැලිගම