නළුවෙක් වෙන්න නම් සුදු වෙන්න ඕනෙ... ලංකාවෙ එහෙම හිතුවට ප්‍රංශයෙදි මට වාසනාව අරගෙන ආවෙ මගේ කළු හම....

* දේශපාලනය කරලා, මරන්න හොයන කොට රටෙන් පිටවුණු ලංකාවෙ කළු කොල්ලා අද ප්‍රංශයේ ජනප්‍රිය තරුවක්....

* අද මට ප්‍රංශය මගෙ ගෙදර වගේ... මං එහි අංශුවක් වෙලා ඉවරයි....

* තාල චිත්‍රපටයේ සුළු චරිතයකට කතා කරද්දි මගේ කළමනාකරු කැමැති වුණේ නෑ.... ඒත් මගෙ උපන් රටෙන් ලැබුණු ඒ පුංචි ආරාධනාව මං නිහතමානීව බාරගත්තා....

* ලංකාවෙ අය මොනවා හිතාවිද මට හිතුනෙ නෑ..... මාව මරන්න හොයපු රට නේද කියලා පුංචි විරසකයක් හිතේ කොනක තියෙන්න ඇති... 

තමන් උපන් රටේ දී තමන්ව මරා දමන්න උත්සාහ කරන වෙලාවක දකුණෙ ඉපදුණු තරුණයෙක් සරණක් හොයාගෙන විදෙස් රටකට යනවා. ඒ ගමන ඔහුට මේ තරම් වාසනාවක් අරගෙන එයි කියලා එදා ඔහු හිතන්න නැතුව ඇති. ඒත් අද ඔහු ලොවම හඳුනන රංගන ශිල්පියෙක්. ඉතින් එහෙම නම් ශ්‍රී ලාංකීය නාමය ප්‍රංශයට අරගෙන ගිය ඔහු සමඟින් අපි කතා කරමු.  ඔහු ප්‍රංශ සිනමාව ජයගත්  ලක්ෂාන් අබේනායක.

ලක්ෂාන් ඔබ ඇයි රට හැරලා යන්නෙ?

86 ඉඳලා රට තුළ පැවැති වාතාවරණයත් එක්ක  අපි හිටියෙ ලොකු පීඩනයක. මොකද ඒ කාලෙදි අපිව ඒ ඒ අයගෙ දේශපාලන අවශ්‍යතා වලට යොදාගත්තා. විශේෂයෙන් දකුණෙ ජීවත් වුණු අපට ඉන් ගැලවෙන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. එහෙම ගැළවෙන්න උත්සාහ කළා නම්, අපේ ජීවිත නැති වෙන්න වුණත් තිබුණා. ඒත් එහි අවසාන ප්‍රතිඵලය වෙන්නෙ මගේ රට මාව මරන්න හොයන එක. ඉතින් මට සිද්ධ වෙනවා, ජීවිතේ බේරාගන්න රට අත හැරල යන්න.

ඔබ ප්‍රංශයටම යන්න හිතුවෙ ඇයි ?

මං ප්‍රංශයට යන්න හිතාගෙන නම් නෙවෙයි, රටින් පිටවෙන්නෙ. ඒ වෙලාවෙ මට අවශ්‍ය වුණේ කොහොම හරි රටින් පිටතට යන්න. මං දන්න අයියා කෙනෙක් එක්ක තමයි මේ ගමන එන්නෙ. එහිදී දේශ සීමා පැනලා පස්සෙ ප්‍රංශයට සේන්දු වෙනවා. 

අහම්බෙන් හෝ ප්‍රංශයට ආව ගමන ඔබේ ජීවිතේ වෙනස් කරනවා?

ඔව් ඒ ගමන මට අලුත් බලාපොරොත්තුවක් අරගෙන ආවා. මා තුළ සැඟවිලා හිටපු කලාත්මක මිනිසාව අවදි කරන්න අවශ්‍ය මඟපෙන්වීම මට ලැබෙන්නෙ ප්‍රංශයෙදි. එහිදී අහම්බයක් වගේ මට හමුවුණු ප්‍රංශ සිනමාවෙ නිෂ්පාදකවරයෙක් තමයි මගේ ජීවිතේ අලුත් මාවතක් ඇති බව මා හට පෙන්වා දුන්නෙ.

භාෂාව නොදැන විදෙස් රටක සිනමාවට සම්බන්ධ වෙනව කියන්නෙම අභියෝගයක් ?

අහම්බෙන් ප්‍රංශයට එන්න වාසනාවක් තිබුණට ප්‍රංශ භාෂාව ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙ හිටපු ලංකාවෙ අය ප්‍රංශ වචනයක් දෙකක් හෝ අල්ලගෙන ඒ රටේ ජීවිතේට යන්තමින් හුරු වෙමින් හිටියෙ. මං ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න ආසාව ඇති වුණේ එහෙ රූපවාහිනියෙ විකාශනය වෙන වැඩසටහනක් බලලා. මට භාෂාව කතා කරන්න බැරි වුණත් ඒ නාට්‍ය බලන කොට ඒ අය කියන දේ හොඳ හැටි තේරුම් යන්න ගත්තා. ඇත්තටම එහෙ අපට භාෂාව උගන්වන්න කවුරුත් හිටියෙ නැහැ. අපේ උත්සාහය හා කැපවීම මත තමයි භාෂාව ඉගෙන ගත්තෙ.

ඔබ ප්‍රංශයට යන්න කලින් රංගනය ගැන හැදෑරීමක් කරලා තිබුණද?

නැහැ කිසිම හැදෑරීමක් කර තිබුණෙ නැහැ. ඒත් රංගනය මගෙ ඇඟ ඇතුළෙ තිබුණු බව මට නොදැනුනාම නෙවෙයි. ඉතින් මට ප්‍රංශයේ ප්‍රකට නිෂ්පාදකවරයෙක් රංගනයට අවස්ථාවක් දෙන්න කතා කළාට හැදෑරීමකින් තොරව ඒ ගමන පටන් ගන්න මං කැමැති වුණේ නැහැ. ඒ අනුව ඔහු මට ප්‍රංශයේ තියෙන හොඳම සිනමා  පාසලක ඉගෙන ගන්න අවස්ථාව හදලා දෙනව. ඒ අනුව මාස අටක් පුරාවට පූර්ණ කාලීනව ඒ පාසලේ මං ඉගෙන ගන්නවා. ඒ හැදෑරීමෙන් පස්සෙ තමයි මං රංගනයට අවතීර්ණ වෙන්නෙ. ඒ අනුව රංගන පාසලෙන් එළියට එන කොටම රංගන වරම් ලැබෙනවා. හැබැයි ලොකු චරිතයක් නම් නෙවෙයි. ඒත් මට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න මං උත්සාහ කළා. 

ඔබව ප්‍රංශ සිනමාව තුළ ඉහළම තැනකට ඔසවා තැබෙනවා?

මම උපන් රට හැර දමා ප්‍රශෙට එන්නෙ 1990 දි. ඒ ගමනෙදි මට ලැබුණු දේවල් එක්ක 2002 අවුරුද්ද වන විට ඉදිරියට එන තරුණ පරම්පරාවට හිමි සම්මානයට නිර්දේශිත හය දෙනා අතරට එකතු වෙන්නත් අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ප්‍රංශය වගේ රටකට ඇවිත් චිත්‍රපටයක, ටෙලිනාට්‍යයක සුළු චරිතයක් රඟපාලා ඒ ලැබුණු අගය කිරීම ගැන මං සතුටට පත් වෙනවා.

කළු සමක් සහිත ඔබට ප්‍රංශ සිනමාව තුළ අවස්ථා ලබා ගැනීම අසීරු වුණේ නැද්ද?

ගොඩක් වෙලාවට ලංකාවෙ අය හිතන්නේ රූපයෙන් සුදු නැත්නම් ලස්සන නෑ කියන මානසිකත්වයෙන්. ඉතින් ඒ මිනුම් දණ්ඩත් එක්ක සුදු නැත්නම් දක්ෂතාව කොච්චර තිබ්බත් වැඩක් නෑ. එහෙම පසුබිමක් තුළ  ප්‍රංශයේ දී මගේ දක්ෂතාවයට සාධාරණයක් නොලැබුණාම වුණත් ඒ අය මට ලබා දීපු දේ මං ආසාවෙන් කළා . ඉන් මම හොඳ වින්දනයක් ලැබුවා. මොකද ඉන්දීය පෙනුම තියෙන නළුවන් ප්‍රංශ සිනමාවෙ හිටියෙ දෙතුන් දෙනෙක් පමණයි. ඇත්තටම ඒක හොඳ අවස්ථාවක් වුණා. මගෙ කළමනාකාරවරයා මට ලැබුණු අවස්ථා බාර ගත්තෙ බොහොම සතුටින්. ඒ කියන්නෙ හැමදාමත් වගේ මට රංගන අවස්ථා ලැබුණා. ඒ ලැබෙන චරිතය කොපමණ සුළු චරිතයක් වුණත් ඒ වෙනුවෙන් උපරිමය ලබා දෙන්න මං උත්සාහ කළා. ඒ කැපවීමෙ ප්‍රතිඵලයක් විදියට මට ප්‍රංශයෙ විතරක් නෙවෙයි යුරෝපයේ බොහෝ රටවලින් ආරාධනා ගලාගෙන එන්න පටන් ගත්තා. ඒ හැම රටකම නිර්මාණ කාර්යයන් වෙනුවෙන් හොඳ වේතනයක් මට ලබා දුන්නා වගේම ඒ කාල සීමාව තුළ රජ පැටවුන්ට වගේ සැලකුවා. ඇත්තටම  මේ වගේ අවස්ථා මට ලැබුණෙ මගෙ කළු සම හින්දා. ඉතින් ඒක ආශිර්වාදයක් විදියට තමයි මං දකින්නෙ. 

ඔය කාලයෙදි ඔබ උපන් රට අමතක කර දැමුවා?

මං ශ්‍රී ලාංකිකයෙක් කියන එක මට අමතක වුණේ නැහැ. ඒත් වැඩත් එක්ක ඉන්නකොට මට ලංකාව ගැන හිතුණේ නැහැ. ලංකාවෙි අය මං ගැන  කොහොම හිතයිද කියලා හිතුනෙත් නැහැ. සාමාන්‍ය ජොබ් එකක් කරනවා වගේ හැඟීමක් තමයි මට දැනුනේ. ඇත්තටම මගේ හිතේ මගේ රට ගැන පුංචිම හරි විරසකයක් තිබුන ද කියලත් අද මට හිතෙනවා.  මොකද උපන් රට මාව මරන්න හොයපු නිසානෙ මම මේ රටින් පිටවෙන්නේ.

ඒ කියන්නෙ ඔබ වෙනස් වුණා?

ලංකාවෙන් ගියාට පස්සෙ මං ගොඩක් වෙනස් වුණා. ඒ වෙනස් වුණු  ජීවිතයේදී මට ලෝක ප්‍රකට නළු නිළියන් වගේම  නිර්මාණකරුවන් ඇසුරු කරන්න ලැබුණා. ඒ කාලයෙදි යම් දෙයක් මගේ ඇඟ ඇතුලෙ තිබුන නම් එයාලා ඒ දේ එළියට ගත්තා. අද වෙනකොට ප්‍රංශය මගේ ගෙදර වගේ. මම එහි අංශුවක් බවට පත්වෙලා ඉවරයි. ඒ වුණත් මං අමතක කරන්නෙ නැහැ මගේ උපන් රට ලංකාව බව. ලංකාවේ ඉපදුනත් මං ලෝකය හඳුනගන්නෙ ප්‍රංශයට ගියාට පස්සේ. කොහොම වුණත් ප්‍රංශයට  ගියා කියලා, මම අතීතය අමතක කළේ නෑ. මං අදටත් කියන්නේ මං සාමාන්‍ය පවුලකින් ආව කෙනෙක්. මායි මගේ සහෝදර සහෝදරියනුයි උස් මහත් කරන්න මගේ අම්මා තාත්තා ගොඩක් දුක් වින්දා. ඒ ජීවිතයේදී ආව කරදර මෙච්චරයි කියන්න බැහැ. ඒ හැම දේමත් එක්ක අවසානයේදී මගේ ඇඟ ඇතුලෙ හැංගිලා හිටපු කලාත්මක මිනිසාව අවදි කරවන්න මට ප්‍රංශෙ දී හැකියාව ලැබුණා. ඉන් උපරිම ප්‍රයෝජන ලබාගන්න මම අමතක කළේ නැහැ.

අද ඔබ ජාත්‍යන්තරය හඳුනාගත් නළුවෙක්. ඔබේ උපන් රට වෙනුවෙන් යමක් කරන්න හිතන්නෙ නැද්ද?

මං හිතන්නෙ දැන් තමයි මට මගෙ රට වෙනුවෙන් යමක් කළ හැකි හොඳම වෙලාව කියලා. ඉතින් මගෙන් යම් දෙයක් මගේ රට බලාපොරොත්තු වෙනව නම් ඒ දේ උපරිමව ලබා දෙන්න මං සූදානම්. පසුගිය කාලෙදි තාල චිත්‍රපටය වෙනුවෙන් ඉතාමත් සුළු චරිතයකට මට ආරාධනා ලැබෙනවා. මගෙ කළමකාරවරයගෙ අකැමැත්ත ඇතිව තමයි මං ඒ චිත්‍රපටයේ රංගනයට එකතු වෙන්නෙ. මොකද මට ඒ අය මොනවගේ අවස්ථාවත් දුන්නත් බොහොම නිහතමානීව මං ඒ ආරාධනය බාර අරගෙන මගෙ උපරිම දායකත්වය ලබා දුන්නා.  

ලක්ෂාන් අද ඉන්න තැන ගැන ආඩම්බරෙන් වගේ?

එහෙම ලොකුවට මගෙ ගැන හිතන කෙනෙක් නෙවෙයි මං. මගේ අම්මා මාව හදලා තියෙන්නේ ලද දෙයින් සතුටු වෙන්න. ඒ හින්දා මං මට ලැබුණු දේ ගැන සතුටු වෙන්න පුළුවන් මට්ටමක ඉන්නවා. ඇත්තටම ප්‍රංශයට ගිහාම මට ලැබුණු දේ ගැන මං සතුටු වුණා. ඒ ගමනෙන් මං ලබා ගත්තු දේවල් අතර තියෙන ලොකුම සතුට තමයි  සතුටින් ජීවත් වෙන එක. මං අද වෙනකොට පිස්සෙක් වගේ ලෝකෙ වටේ යනවා. හැම ජාත්‍යන්තර සිනමා උළෙලකට ම මට ආරාධනා ලැබෙනවා. ඒ හැම දේටම මම සහභාගි වෙන්නේ බොහොම සතුටින්.

$ads={2}


තමාරා පතිරණ  

Post a Comment (0)
Previous Post Next Post