මිදුලේ සෙල්ලම් කර කර සිටි 12 හැවිරිදි දැරිය අතුරුදන්: පොලිස් සුනඛයා මගට ගොස් නතර වෙයි


දරුවන් සියල්ල මිදුලේ සෙල්ලම් කිරීමෙන් පසු ඒ අතර සිටි 12 හැවිරිදි දියණියක අතුරුදන්ව ඇතැයි ගම්පොල ගලහ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

මෙසේ අතුරුදන්ව ඇත්තේ ගම්පොළ නිල්ලඹ කාර්යාල හංදිය ප‍්‍රදේශයේ පදිංචි යෝගරාජා කලේවානි නමැති පාසල් ශිෂ්‍යාවකි.

ඇයගේ පුංචි අම්මාගේ නිවසේ දී ඇය අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

දැරියගේ පියා වන කදිරවේල් යෝගරාජා මහනුවර පොදු වෙළෙඳපොළේ සේවය කරන අතර මව ඇගේ දෙමාපියන්ගේ නිවසට ගොස් තිබේ.

මේ නිසා ඔවුන්ගේ දරුවන් තිදෙනා ඒ අසල පදිංචි දැරියගේ පියාගේ සොයුරියගේ නිවසේ (දැරියගේ පුංචි අම්මා) කාලය ගත කර ඇත.

පුංචි අම්මාගේ දරුවන් දෙදෙනා හා මෙම දරුවන් තිදෙනා එකට සෙල්ලම් කරමින් සිටියදී පුංචි අම්මා මෙම දැරියට පාඩම් කරන ලෙස අවවාද කර ඇති බව ද හෙළිවී තිබේ.

පසුව පෙරේදා (7 දා) සවස රූපවාහිනිය නරඹමින් සිටියදී මෙම දැරිය නොමැති බව දැක ඇය සෙවීම ආරම්භ කර තිබේ.

$ads={2}

ගම්වාසීන් සියල්ල එකතුවී අවට නිවාසවල හා ප‍්‍රදේශයේ කැලෑ රොදවල ද ඇය සෙවූ මුත් හමුවී නොමැති නිසා මේ පිළිබඳව පුංචි අම්මා වන පී. නාගේෂ්වරී යන අය සිද්ධිය ගලහ පොලිසියට පැමිණිලි කර තිබේ.

පොලිසිය වහාම ක‍්‍රියාත්මක වී පොලිස් නිල සුනඛයන් ද යොදා ගනිමින් ඇය සෙවූ මුත් ඊයේ (8 දා) දින වන තුරුම දැරිය සොයා ගැනීමට නොහැකි වී තිබේ.

නිල සුනඛයන් ඇගේ ඇඳුම් ඉවකර ගම්මානයේ සිට ප‍්‍රධාන මාර්ග දක්වා පැමිණ නතර වීම නිසා පොලිසිය පරීක්ෂණ වෙනත් මගකට යොමු කර තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්

Post a Comment (0)
Previous Post Next Post