පුංචි අයිෂාගේ මරණයේ අබිරහස..

බණ්ඩාරගම අටුලුගම ෆාතිමා අයිෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පොලිස්පතිවරයා ඊයෙ(29) නියෝග කළේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් අද පෙරවරුවේ සිදුවීම වූ ප්‍රදේශයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

බණ්ඩාරගම අටුලුගම විසූ වයස අවුරුදු 09ක් වූ ෆාතිමා අයිෂා දැරිය ඉකුත් සිකුරාදා පෙරවරුවේ සිය නිවසට මීටර් 250ක් ආසන්නයෙන් පිහිටි කුකුළු මස් වෙළෙඳසැලකට ගොස් යළි නිවසට පැමිණ තිබුණේ නැහැ.

පසුව දැරියගේ මව්පියන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව දැරිය සොයා සොදිසි මෙහෙයුම් ඇරඹි අතර එහිදි දැරිය වෙළෙඳසැලට අතුළුවන හා පිටවන දර්ශන ඇතුළත් සී.සී.ටීවි දර්ශන හමු වී තිබුණි.

කෙසේවෙතත් නිවසට ආසන්න මීටර් 150ක ප්‍රදේශයේ සී.සී.ටීවි කැමරා සවිකර නොමැති පසුබිමක දැරිය සොයා ඊයේ පස්වරුව තෙක් අඛණ්ඩ සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව ඊයේ පස්වරුවේ ප්‍රදේශවාසින් විසින් දැරිය‍ගේ නිසල සිරුර සොයාගනු ලැබුවේ ඇයගේ නිවස අසලම අටුලුගම මහපල්ලිය ඉදිරිපිට කැලෑබද වගුරුබිමක තිබියදීය

ප්‍රදේශවාසින් විසින් දැරියගේ සිරුර සොයා ගන්නා අවස්ථාව වන විටත් සිරුර මඩවලින් වසා දමා තිබුණි‍ෙ

සිදුවීමට අදාළ ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රානි උඩවත්ත මහත්මිය විසින් සිදුකරනු ලැබීය.

පසුව පානදුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ මූලිකත්වයෙන් කණ්ඩායම් 04ක් විමර්ශන ආරම්භ කළ අතර දැරියගේ පියා ඇතුළු පුද්ගලයින් 22කට ආසන්න පිරිසකගෙන් අද පෙරවරුව වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

දැරියගේ දේහය මේ වන විට පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

$ads={2}

මේ අතර අටුලුගම ප්‍රදේශයේ දැරිය අතුරුදන්වීම සහ අනතුරුව වගුරුබිමකදී සිරුර සොයා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සංවේගය පළ කර තිබේ.

මෙම සහාසික අපරාධය කළ අපරාධකරුවන් වහාම නීතිය හමුවට ගෙනවිත් දැඩි දඬුවම් ලබාදීමටත්, නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් තමන් පොරොන්දු වන බව ජනාධිපතිවරයා සිය පණිවුඩයේ සඳහන් කර ඇත.

Post a Comment (0)
Previous Post Next Post