රනිල්ගේ නායකත්වයෙන් 2023දී පිිහිටුවන ආණ්ඩුවකින් සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනවා - වජිර අබේවර්ධන (එජාප)


රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් 2023 දෙසැම්බර් මාසයේ පිහිටුවන එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ඇතුළු රට මුහුණ පා සිටින සියලු ප්‍රශ්නවලට නියත වශයෙන්ම විසඳුම් ලබාදෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන පැවසීය. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සම්බන්ධව කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ එජාප ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවට එක්වෙමින් එජාප සභාපතිවරයා මේ බව පැවැසුවේය.

වත්මන් ආණ්ඩුවේ දුර්වල පාලනය නිසා මේ වනවිට රට මහා ඛේදවාචකයකට තල්ලු වෙමින් තිබෙන බව පෙන්වා දුන් ඔහු ලබන වසර වනවිට මේ තත්ත්වය තවත් උග්‍රවන බව අවධාරණය කළේය. පොහොර ප්‍රශ්නය නිසා වසර එකහමාරක පමණ කාලයක සිට රටේ ගොවිජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටින බවද එනිසා කෘෂිකර්මාන්තයට අයත් සෑම අංශයක්ම මේ වනවිට කඩා වැටී තිබෙන ඉවද පැවැසූ ඔහු තේ කර්මාන්තය විනාශ වී ඇතැයිද වී ගොවිතැනින් ගොවි ජනතාව ඉවත් වෙමින් සිටින බවද සමස්ත කෘෂිකර්මාන්තයම ආණ්ඩුව විනාශ කර දමා ඇතැයිද පැවැසුවේය.

වත්මන් පාලනයේ තිබෙන දුර්වලතා නිසා මේ ආකාරයට බරපතළ ඛේදවාචකයකට මුහුණ පා සිටින රට ඉන් ගොඩගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ආර්ථික සැලැස්මක් ආණ්ඩුවට ඉදිරිපත් කළ බවද මෙම අවස්ථාවේදී ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ එජාප නායකයා ප්‍රකාශ කර ඇති බවද පැවැසුවේය.

Post a Comment (0)
Previous Post Next Post