කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ නොවන බවත්,සජිත් ප්‍රේමදාස වැනි රූකඩයක් රටේ ජනාධිපති කරවන්න මහන්සි නොවන බවත්, අසාර්ථක වූ රනිල් වික්‍රමසිංහ පුම්බන්න කටයුතු නොකරන බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කාන්තා තරුණ සහ ගුරු සමුළුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය.ඉකුත් 24 වැනිදා මෙම සමුළුව පැවැත්වුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කිරීම අපේ පරම යුතුකම බවත්, නිදහස් පක්ෂය කියන්නේ වරින්වර වැටෙන නැගිටින කවදාවත් නැති කරන්න බැරි පක්ෂයක් බවත්, මේ පක්ෂය ආණ්ඩු බිහිකර ජනාධිපතිවරු අගමැතිවරු විශාල ප්‍රමාණයක් බිහිකළ පක්ෂයක් ලෙස ඉතිහාසගත වී ඇතැයිද ඇමැතිවරයා පැවැසුවේය.බණ්ඩාරනායක මැතිතුමා ජීවිත පරිත්‍යාගකර රැක ගත් මේ පක්ෂය අපවාද විඳිමින් බණ්ඩාරනායක මැතිනිය ඉදිරියට ගෙන ගිය බවත්, පක්ෂය වැටෙන්නට කිසිසේත්ම ඉඩ නොතබන බවත්, පක්ෂය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බවද ඔහු කීවේය.
මහ ඇමැතිකම ගැන නොයෙක් අභියෝග ෂාන් විජය ලාල්ට එල්ල වුවත් එතුමා පක්ෂය හැර නොගිය බවත්, පක්ෂයට ඇතැම් දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ධුර ලබා ගන්න බැරිවූ බවත්, ඊට විවිධ හේතූන් බලපෑ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කළ අපේක්ෂකයින් නව දෙනකුම තමාට බැන්න බවත්, මොන ප්‍රශ්න තිබුණත් පක්ෂය අත්හැරියේ නොමැති බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පැත්තකට දාලා තිබුණත් නොසලකා හැරියත් ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය කරවීමට කටයුතු කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
ඇමැතිකම් මහ ලොකු දේවල් නොවන බවත්, තනතුරු දාල යන්න කිසිම පැකිලීමක් නොමැති බවද ඔහු කීවේය.
යූ.එම්. තිලකරත්න - ලබුදුව, රවීන්ද්‍ර චන්ද්‍රලාල් - හිනිදුම