අංගොඩ ලොක්කාගේ ගෝලයා නිදිපැදුරේදීම ඝාතනය කරලා..


හරක් කටාගේ කොන්ත්‍රාත්තුවක් දැයි සැක

මියගිය අයගේ මස්සිනාගේ කටටත් වෙඩි තියලා

අංගොඩ ලොක්කාගේ මූල්‍ය කටයුතු මෙහෙය වූ ප්‍රධාන ගෝලයකු අංගොඩ, දෙල්ගහවත්තේ පිහිටි නිවස තුළ නිදාගෙන සිටියදීම ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.

පොලිසියෙන් බව කියමින් ඊයේ (26 වැනිදා) උදෑසන 6.30ට පමණ නිවසේ දොර විවෘත කරගෙන පැමිණි පිස්තෝල රැගත් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

මෙහිදී අවිගත් දෙදෙනා සමග පොර බැදීමට ගිය මියගිය පුද්ගලයාගේ මස්සිනාටද කටට වෙඩි තබා ඝාතකයන් යතුරු පැදියේ නැගී පලාගොස් ඇත.

මෙම වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ කන්තිරිගේ නුවන් මිලින්ද (42) නමැති අයෙකි. සිද්ධියෙන් තුවාල ලද මොහුගේ මස්සිනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඝාතනයට ලක්වූ තැනැත්තා පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයකු ලෙස කටයුතු කර ඇත. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ඝාතනයර වීමත් සමග ඔහුගේ දේපල සම්බන්ධ ආරවුලකට කණ්ඩායම් කිහිපයක් විරසක වී ඇත.

අංගොඩ ලොක්කාගේ කුඩු ජාලය අතට ගත් හරක් කටා ලොක්කාගේ දේපල ඉල්ලමින් අවස්ථා තුනකදී මෙම නුවන් මිලින්ද නමැත්තාට තර්ජනය කර ඇත. අංගොඩ ලොක්කා ඝාතනය වී දින තුනකට පසුව මිලින්දගේ නිවසටම පැමිණ ලොක්කාගේ දේපල තමාට දෙන ලෙස හරක් කටා තර්ජනය කර ගොස් ඇත.

මෙම තර්ජන හේතුවෙන් ලොක්කාගේ ඝාතනයේ චෝදනාව එල්ල වූ රත්තරංගේ බිරිඳගේ සොහොයුරා වූ ඉතාලි චමින්ද සමග එක්වී මියගිය පුද්ගලයා කටයුතු කර තිබේ.

හරක් කටා ඩුබායි සිට ඇරඹි ප්‍රතිවිරුද්ධ කල්ලි ඝාතනය කිරීමේ රැල්ලේ මුල්ම ඉලක්කය වූයේ වැලිගම සන්ෂයින් සුද්දාය. එම ඝාතනයට සැකපිට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මිදිගම ලසන්තගේ ප්‍රශ්න කිරීමේදී නුවන් මිලින්ද ඝාතන තැතක් ගැනද කියවී ඇත.

මේ අනුව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් මියගිය පුද්ගලයාට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලින් ඇති තර්ජනය ගැන අනතුරු හඟවා තිබුණු බව පවුලේ සාමාජිකයෝ පැවැසූහ.

දැනට කෙරෙන විමර්ශනවලට අනුව ඩුබායි සිටින හරක් කටා විසින් තම ඝාතනවලට යොදාගත් වෙඩික්කරුවකු මෙම ප්‍රහාරයට යොදවන්නට ඇතැයි විමර්ශන කණ්ඩායම් සැකපහළ කරයි.

වෙඩික්කරු හා යතුරුපැදියේ පැමිණි සහායකයා ඝාතනය කර යතුරුපැදියෙන් පලා යන දර්ශන සීසීටීවී කැමරාවල සටහන්ව ඇත. ඝාතකයන් මුහුණු ආවරණ වන හෙල්මට් හා අව් කණ්ණාඩි පැලඳ ජැකට් දමාගෙන සිට තිබේ. ඔවුන් යතුරුපැදිය දෙල්ගහවත්ත ශ්‍රී ජීනවංශාරාමය ඉදිරිපිට නවතා ඉදිරිපිට වූ නිවසකට ඇතුළු වී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.

ඝාතකයන් පොලිසියෙන් කියා තම සොහොයුරාගේ කාමරයට යාමට තැත් කරද්දී ඔවුන් ගැන සැක සිතී නැවැත්වීමට යාමේදී තම සැමියාගේ කටට වෙඩි තැබූ බවත්, ඉන් පසුව සොහොයුරාගේ කාමරයට ගොස් වෙඩි තැබූ බවත් මියගිය අයගේ සොහොයුරිය විමර්ශන කණ්ඩායම් හමුවේ පැවැසූහ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත මුල්ලේරියාව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධි අරෝෂ හා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන මෙහෙයවයි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා,සිරිසේන ගමගේ- කොළොන්නාව

Post a Comment (0)
Previous Post Next Post