දුරකථන අංකයත් ඉල්ලා බැගෑපත් වෙයි
වැඩේ ගොඩින් බේරාගන්නැයි පැමිණිලිකරුවන්ට පොලිස් ස්ථානාධිපති කියලා
සිය සැමියා නිවසේ නොසිටි අවස්ථාවේ හෙම්මාතගම පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති විසින් 37 හැවිරිදි විවාහක එක්දරු කාන්තාවකට බලහත්කාරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාන්තාව හෙම්මාතගම පොලිසියට පෙරේදා (25දා) පැමිණිලි කර ඇත.
මත්කුඩු සහ කසිප්පු වෙළෙඳාමේ නිරත ස්ථානයක් සොයා හෙම්මාතගම පොලිසියේ නිලධාරීන් සිව්දෙනෙක් අම්බලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් පරීක්ෂා කර ඒ ආසන්නයේ වෙළෙඳසලක් වෙත පැමිණ තිබිණි. නිලධාරීන් තිදෙනෙක් වෙළෙඳසලට ඉහළින් පිහිටා ඇති අම්බුළුවාව කන්ද ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ඇත්දැයි සොයද්දි දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති කාන්තාව සිටි වෙළෙඳසල පරික්ෂාවට ලක් කරන බව පවසා එහි නැවතී ඇත. එම නිලධාරියා උප පොලිස් පරික්ෂකවරයෙක්ද වෙයි.
මෙම නිලධාරියා විසින් වෙළෙඳසල නිරීක්ෂණය කරන අවස්ථාවේ වෙළෙඳසලේ සිටි කාන්තාව එම ස්ථානයෙන් ඉවත් වීමට උත්සාහ කර ඇති අතර නිලධාරියා ඇයට එයින් පිට නොවන ලෙස අණ කරමින් ඇයගේ ශරීරය අතපත ගෑමට උත්සාහ කර ඇති බව වාර්තා විය. පසුව බලහත්කාරකම් කිරීමට උත්සාහ කර ඇති මෙම නිලධාරියා ඇයගේ රහස් ප්‍රදේශ පවා අතපත ගෑමට උත්සාහ කර ඇති බව තොරතුරු වාර්තා විය. එමෙන්ම ඇයගේ පෞද්ගලික දුරකථන අංකයද ලබාදෙන ලෙස ඉල්ලමින් උප පොලිස් පරීක්ෂකවරයා ඇයට ඇවිටිලි කර තිබිණි.
පසුව කාන්තාව පොලිස් නිලධාරියාගෙන් මිදී වෙළෙඳසලෙන් එළියට පැන තම ස්වාමියාට ඒ බව දුරකථනයෙන් පවසා ඇත. හෙම්මාතගම නගරයේ බැංකුවකට ගොස් සිටි ස්වාමියා ක්ෂණිකව තම වෙළෙඳසල දක්වා පැමිණි අවස්ථාවේ අදාළ නිලධාරියා සහ සෙසු නිලධාරීන් එම ස්ථානයෙන් පිට වීමට යතුරුපැදිවලට නැගීමට උත්සාහ කළ අවස්ථාවේ කාන්තාවගේ ස්වාමියා මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි අංකය වන 119 වෙත දැනුම්දී තිබිණි. හෙම්මාතගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
හෙම්මාතගම පොලිසිය වෙත පැමිණිලි කිරීමට කාන්තාව සහ ස්වාමියා එහි ගොස් ඇති අතර එහිදී පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණිලි නොකර අදාළ සිදුවීම සමථයකට පත් කර ගැනීමට හැකියාවක් ඇත්දැයි කිහිප අවස්ථාවක් ඔවුන්ගෙන් විමසා තිබිණි. යළි එවැනි සෝදිසි කිරීම්වලට මෙවැනි නිලධාරීන් පිටත් නොකරන බවද එහිදී පවසා ඇත. කෙසේ හෝ තම පොලිසියේ නිලධාරියකුගේ පැමිණිල්ලක් සටහන් කර විභාග කිරීමට තමාට බලයක් නොමැති බවද ස්ථානාධිපතිවරයා මුලින් පවසා ඇත. පසුව ඔවුන් විසින් පැමිණිල්ල කෑගල්ල පොලිස් ස්ථානයේ දැමීමට යොමුවන බව පැවසූ පසු පැමිණිල්ල සටහන් කරගැනීමට සූදානම් බව ස්ථානාධිපතිවරයා පවසා ඇත.
එහිදී කාන්තාවගේ ස්වාමියා පවසා ඇත්තේ සාමාන්‍ය ජනතාව වැරැද්දක් කළ පසු ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය තම නිලධාරීන් සිදු කරන වැරදි සහ ඊට නීතිය ක්‍රියාත්මක නොකර ජනතාව අපහසුතාවට පත් කිරීම බරපතළ වරදක් වන බවයි. එය පිළිගත් ස්ථානාධිපතිවරයා පැමිණිල්ල සටහන් කිරීමට යොමු කර තිබුණේ ඔවුන් පැයකටත් වඩා වැඩි කාලයක් පොලිස් ස්ථානයේ තබා ගැනීමෙන් අනතුරුවයි.
පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් පසුව අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාවනැල්ල රජයේ රෝහල වෙත යොමු කර බවද මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම කාන්තාවගේ ස්වාමියා පැවසීය.
ඇය මේ වන විටත් මාවනැල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. අප මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියකුගෙන් විමසූ විට ඔහුද පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කෑගල්ල ළමා හා කාන්තා කාර්යාංශය වෙත යොමු කර ඇති බවයි.
සමන් විජය බණ්ඩාර-මාවනැල්ල