ශ්‍රී ලංකාවේ උපන් සචිත්‍රා නිසංසලා ප්‍රනාන්දු දේවේන්ද්‍ර පසුගිය ජනවාරි මාසයේ සිට සිය දියණියන් දෙදෙනා සමග පදිංචිව සිටියේ ඉතාලියේ වෙරෝනා ප්‍රාන්තයේ පෝර්ටෝ සැන් ෆැන්ක්රාසියෙන් දිස්ත්රික්කයේය. 33 හැවිරිදි නිසංසලාගේ දියණියන් දෙදෙනා වන්නේ 11 හැවිරිදි සබැඳි සහ 3 හැවිරිදි සඳනිය. මෙම දියණියන් දෙදෙනා ඉපිද ඇත්තේද වෙරෝනාවේමය. පසුගිය ජනවාරියේ සිට ඔවුන් පදංචිව සිටින ස්ථානයට පෙර ඔවුන් රැඳී සිටි ලිපිනය මෙතෙක් පැහැදිලි නැත. මෙම තිදෙනා පෙරේදා (26 වැනිදා) සමස්ත ඉතාලිය පුරාම ප්‍රසිදධියට පත් වූයේ අනපේක්ෂිත ඝාතනයක් නිසාය. ඝාතනයට ලක්ව තිබුණේ මෙම කුඩා දියණියන් දෙදෙනාය. ඝාතකයා බවට සැක කෙරෙන්නේ දැරියන්ගේ මවය. මෙම තිදෙනා පදිංචිව සිටි නිවස දිස්ත්‍රික්කයේ නගර සභාවකට අයත් ප්‍රසිද්ධි ස්ථානයක පිහිටියක් වන නමුත් මෙතෙක් මෙම ඝාතන පිළිබඳව කිසිදු හෝඩුවාවක් හෝ පැහැදිලි කිරීමක් සිදුකිරීමට වෙරෝනා පොලිසියට හැකියාව ලැබී නැත. ඊට හේතුව මෙම දැරියන්ගේ මව වන සචිත්‍රා නිසංසලා අතුරුදන්ව සිටීමයි.
නිවසේ තිබියදී සබැඳිගේ සහ සඳනිගේ සිරුරු සොයාගෙන ඇත්තේ නගර සභාවේ නිවාස භාර සමුපකාර සමිතියේ නිවාස භාර ක්‍රියාකරුවකු විසිනි. වෙනදා පරිද්දෙන් දැරියන් දෙදෙනා පාසල් යෑමට නිවසෙන් පිටතට නොඑන බව නිරීක්ෂණය කළ අදාළ ක්‍රියාකරු අඟහරුවාදා උදෑසන 9ට පමන එම නිවස තුළට ගොස් පරීක්ෂා කිරීමේදී රාත්‍රී ඇඳුම් පිටින්ම ඔවුන් ඇඳන්මත වැතිරී සිටිනු දැක ඇත. කිසිදු හානියක් සිදුව ඇතැයි නොපෙණුනු නමුත් දැරියන් හුස්ම නොගන්නා බව ඔහු දැක ඇත. ඒ අනුව අසල්වැසියන්ට සහ පොලිසියට දැනුම් දී සිදු කළ පරීක්ෂාවේදී දැරියන් මරා දමා ඇති බව හෙළිවී තිබේ.
එම ස්ථානයට පසුව පැමිණි හදිසි මරණ පරීක්ෂකවරයා තම විමර්ශනයේදී දැරියන්ගේ සිරුරුවල කිසිදු තුවාල සැලකුණක් තිබී නැත. එහෙත් දැරියන්ගේ හුස්ම හිරකර මරා දමා ඇති බවට යම් යම් සලකුණු සොයා ගැනීමට මරණ පරීක්ෂකවරයාට හැකියාව ලැබී ඇත. ඒ අනුව දැරියන්ගේ මව කෙරෙහි සැක යොමුව ඇතත් ඒ වන විටත් ඇය නිවසින් පලාගොස් සිටියාය. දැරියන්ගේ කාමරයේ එක් ජනේලයක් විවෘතව පැවැති අතර ඉන් පලාගිය සචිත්‍රා අසල ඇති කුඹුරු යාය ඔස්සේ ඉන් ඔබ්බේ වන ගංගාවද තරණය කර අතුරුදන්ව ඇතැයි දැනට සැකකෙරේ.
මෙම සිදුවීම දිස්ත්‍රික්කයේ වෙරෝනාවටත්, ඉන් මුළු ඉතාලියටත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමට එතරම් වේලාවක් ගත වූයේ නැත. එම නිසාම අදාළ කාන්තාව සෙවීමට පොලිස් කණ්ඩායම් කිහිපයක්ම මේ වන විට යොදවා ඇති අතර වෙරෝනා නගරාධිපති ෆෙඩ්රිකෝ ස්බෝරිනාද පෞද්ගලිකවම ඝාතන සිදුවූ ස්ථානයට පැමිණ ඇත. එහි පැමිණ සිටි ජනමාධ්‍යවේදීන් ඇමතූ නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය වචනයෙන් විස්තර කළ නොහැකි ඛේදාන්තයක් බවයි. සිය බල ප්‍රදේශය මෙම සිදුවීමෙන් කම්පනයට පත්ව ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.
දැන් සචිත්‍රා නිසංසලාව වෙරෝනාවේ ගම්බද ප්‍රදේශවල සෙවීම සඳහා පොලිසියට අමතරව ගිනිනිවන භටයන්, සිවිල් ආරක්ෂක සේවකයන්, පුහුණු සුනඛයන්, ඩ්‍රෝන යානා මෙන්ම කිමිඳුම්කරුවන්ද යොදවා ඇත. එසේම මෙම තැනැත්තිය පිළිබඳ තොරතුරක් දන්නේ නම් වහාම දැනුම්දෙන ලෙස වෙරෝනාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්රජාවගෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ඉල්ලීමක්ද කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත් දියණියන් දෙදෙනා ඝාතනය කළ තරුණ මව ‘අවතාරයක්’ සේ අතුරුදන්ව ඇතැයි වෙරෝනා පොලිසිය පවසයි. මියගිය දැරියන්ගේ පියා සචිත්‍රා සමග විරසකවී වෙනම ස්ථානයක පදිංචිව සිට ඇති අතර ඔහු මෙම ඛේදවාචකය දැනගෙන ඇත්තේ ජනමාධ්‍ය ඔස්සේය. සචිත්‍රාගේ පසුගිය හැසිරීම් සලකා බැලීමේදී ඇය යම් මානසික ව්‍යාකූලතාවකින් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි කියයි.
-නයන තරංග ගමගේ