අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ ඊයේ (27 වැනිදා) සිය මංගල අන්තර් සමාජ ක්‍රිකට් තරගය සඳහා සහභාගී වූ අතර එම තරගයෙන් පළමු පන්දුවෙන්ම ඔහු දැවී යාම විශේෂත්වයක් විය.
අන්තර් සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අරඹමින් ඊයේ (27 වැනිදා) කළුතර නගර ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කරන්නට කළුතර නගර ක්‍රීඩා සමාජය සමත් විය.
කළුතර නගර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙසින් රෝහිත පිටියට පිවිසි අතර එම තරගයේ ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන් ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.
වත්මන් සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ රග්බි කණ්ඩායමේ නායකයා ද වන්නේ රෝහිත රාජපක්ෂය. මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නාවික හමුදා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස්කර ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කළුතර කණ්ඩායම කඩුලු 8ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්හ.
මෙම තරගයේ විනිසුරුවන් ලෙස නිලාන් ද සිල්වා සහ ශාන්ත ෆොන්සේකා කටයුතු කර තිබේ.