"චීනය මොනවා කිව්වත්.. නැව රටට ගන්නෙත් නැහැ..සල්ලි ගෙවන්නෙත් නැහැ.." - කෘෂි ඇමැති මහින්දානන්ද මාධ්‍ය හමුවේ කියයි


මහ කන්නය සඳහා පොහොර බෙදාහැරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (27 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසීය. මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ ද සහභාගි විය.

කෙසේ වෙතත්, අදාළ චීන සමාගම පෙරේදා (26 වැනිදා) ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය මගින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලිපියක් යොමුකර තිබූ අතර, එහි සඳහන් කර ඇත්තේ තෙවැනි පාර්ශ්වයක් මගින් මෙම සාම්පල නැවත පරීක්ෂා කළයුතු බවයි. සාම්පලවල ගැටලු තත්ත්වයක් නොමැති බවට තහවුරු වුවහොත් අදාළ පොහොර තොගය ලංකාව භාරගෙන ගෙවීම් කළයුතු බවත් එහි දැක්වේ.

ලංකාවට පැමිණි චීන පොහොර නැවේ ගබඩා කර තිබෙන පොහොර තොගවල සාම්පල තුන්වැනි පාර්ශ්වයකට ලබා නොදෙන බවත්, යළි පොහොර මෙරට පිරිවිතරයන්ට අනුව නිපදවන්නේ නම් එම සාම්පල පමණක් පරීක්ෂා කිරීමට දෙන බවත් ඇමැතිවරු දෙපොළම පවසති.

නයිට්‍රජන් අඩංගු කාබනික පොහොර ආනයනය කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීමක් කළ අතර, ඒ සඳහා සමාගම් 22 ක් ඉදිරිපත් විය. අවසානයේදී ඉන් සමාගම් 4ක් තේරුණු බවත්, තිදෙනකුට නියමිත වෙලාවට පොහොර ලබාදීමට නොහැකි බව දැනුම්දීම නිසා චීන පොහොර සමාගම පොහොර ආනයනය සඳහා තෝරාගත් බවත් කෘෂි ඇමැතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

චීනයේ මෙම සමාගම ලෝකයේ රටවල් ගණනාවකට පොහොර ආනයනය කරන සමාගමක් මෙරටට එවන පොහොර සාම්පලවල බැක්ටීරියා ඇත්දැයි චීනයේදී පරීක්ෂාවට ලක්කර නැහැ. මෙරටදී එම සාම්පල පරීක්ෂාවේදී එහි අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටින බව අනාවරණය වුණා. ජීවානුහරණය කළ කාබනික පොහොරවල ක්ෂුද්‍රජීවීන් සිටීමට නොහැකියි. චීන සමාගමේ පොහොරවලට මෙරටදී බැක්ටීරියාවක් යොදා පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නැහැ.

එමෙන්ම නැව පිටත්වීමට පෙර වෙළෙඳ බලපත්‍රයක් ලබාගෙනත් නැහැ. මෙම නැව පිටත්වී ඇත්තේ මෙරට අවසරයකින් තොරවයි. එහි ක්ෂුද්‍රජීවීන් අඩංගු බව ලංකා පොහොර සමාගම දැනුම් දී තිබෙනවා. චීනයෙන් එන සියලු පොහොර තහනම් කරන්නේ නැහැ. නමුත් සාම්පල ප්‍රතික්ෂේප වූ පොහොර තොගය භාර ගන්නෙත් නැහැ යැයි ද ඒ බව චීන තානාපතිවරයාට කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා දැනුම් දුන් බවද ඇමැතිවරයා පැවසීය.

මෙරට සම්මත නිර්ණායක ක්‍රමවේද අනුව පොහොර නිෂ්පාදනය කර එම සාම්පල පොහොර ස්වාධීන පරීක්ෂණාගාරයකින් පරීක්ෂා කර සහතික කරගන්නා ලෙසත්, අනතුරුව,ශ්‍රී ලංකාවද එම සාම්පල පරීක්ෂා කර ඒවායෙහි අහිතකර ක්ෂුද්‍රජීවීන් නොමැති බවට තහවුරු වුවහොත් අදාළ සමාගමේ පොහොර ලබා ගැනීම ගැන තීරණයක් ගන්නා බවටත් චීන තානාපති කාර්යාලයට දැනුම්දුන් බව ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

චීන නැව ගෙනා පොහොර තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන අටක්. නැව් ගත කරන ලද මෙට්‍රික් ටොන් විසි දහසක පොහොර තොගය සඳහා ණයවර ලිපි අනුව ගෙවෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන එකයි දශම හතකුයි. ඇමරිකානු ඩොලර් මිලියන පහක තැන්පතුවක් ඔවුන් තබා තිබෙනවා. අධිකරණයට ගියේ ඇමරිකානු ඩොලර් මිලියන එකයි දශම හත ගෙවීම නතර කර ගැනීමට වඩා පොහොර තොගයේ තිබෙන බැක්ටීරියා මෙරටට පැමිණීම වළක්වා ගැනීමට බවද ඇමැතිවරයා කීවේය. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විභාග කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙහිදී කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ චීන තානාපතිවරයා තමා ඇතුළු කෘෂිකර්ම නිලධාරීන්ට ඔහු හමුවීමට පැමිණෙන ලෙස කැඳවීමක් නොකළ බවයි. තත්ත්වය පැහැදිලි කිරීමට එහි ගිය බවත්, එම පැහැදිලි කිරීම තානාපතිවරයා පිළිගත් බවත් පැවසුවේය.

-සාලිය කුමාර ගුණසේකර

Post a Comment (0)
Previous Post Next Post