බූස්ටර් එන්නතට කලින් කියවන්න ඕන කතාවක් - එන්නත කොක්ටේල් කළොත් ප්‍රතිඵල ඉහළයි


ශ්‍රී ලංකාව ඇතුළුව ලොව රටවල් ගණනාවකට සැනසුම් සුසුමක් හෙළිය හැකි තොරතුරු ඇතුළත් වාර්තාවක් පසුගිය සිකුරාදා (21 වැනිදා) බ්‍රිතාන්‍ය මූලික කරගෙන ප්‍රකාශයට පත්කරන ලොව ප්‍රකට සඟරාවක් වන 'නේචර්' (nature) විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.

මෙම වාර්තාව සකස් කර තිබුණේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මූලික කරගනිමින් සිදු කළ අන්තර්ජාතික අධ්‍යයනයක ප්‍රතිඵල පදනම් කර ගනිමිනි. ඉන් පෙන්වාදී ඇත්තේ මෙතෙක් කලක් ලෝකයට ගැටලුවක්ව පැවැති කොවිඩ්-19 වයිරසයට එරෙහිව ලබාදෙන එන්නත් මිශ්‍ර කිරීම හෝ ගැළපීම සිදු කළ හැකිද යන්නට පිළිතුරකි. ඒ අනුව පසුගිය මාර්තු මාසයේ සිට කරන ලද අධ්‍යයනයේ අවසන් ප්‍රතිඵලය ලෙස, වර්ග දෙකක එන්නත් මිශ්‍රකොට ලබාදීම මගින් බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක ප්‍රතිඵල අත්වන බව හෙළි වී ඇත.

එන්නත කොක්ටේල් කළොත් ප්‍රතිඵල ඉහළයි

මෙයින් අදහස් වන්නේ දැනටමත් එක් වර්ගයක එන්නත් මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයන්ට ඔවුන්ගේ දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් වර්ගයක එන්නතක් ලබාගැනීමෙන් ඉතාමත් සාර්ථකව කොවිඩ්-19 වයිරසයට එරෙහිව තමන්ගේ ප්‍රතිදේහ මට්ටම ඉහළ නංවා ගත හැකි බවයි. මෙහිදී අනාවරණය කර ඇති තොරතුරුවලට අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා දෙකක් ලබා ගත් පුද්ගලයන්ට සාපේක්ෂව ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබාගෙන දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගත් පුද්ගලයන්ට වයිරසය ආසාදනය වීමේ සම්භාවිතාව 18% කින් අඩු බව හෙළි වී තිබේ. මීට සමගාමීව ඩෙන්මාර්කය කරන ලද තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගත් පුද්ගලයන්ට කොරෝනා වයිරසය ආසාදනය වීමට එරෙහිව 88%ක ඵලදායිත්වයක් ලැබෙන බවයි. ඒ අනුව ඉහළ අවදානමක් ඇති පුද්ගලයන්ට ඉදිරියේදී කොවිඩ්-19 වයිරසයට එරෙහිව සිය තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමේදී වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීමට මෙම අධ්‍යයනයෙන් අනාවරණය කර ඇති තොරතුරු ඉවහල් වන බව පැහැදිලිවම දැකගත හැකිය.

අපේක්ෂා නොකළ මට්ටමේ ත්‍යාගයක්

මෙම නවතම අධ්‍යයනයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ගත් කල නම්, අපේක්ෂා නොකළ මට්ටමේ ත්‍යාගයක් බඳුය. ඊට හේතුව අවශ්‍ය කරන පුද්ගල කණ්ඩායම්වලට ප්‍රමුඛතාව ලබා දෙමින් කොවිඩ්-19 වයිරසයට එරෙහිව තුන්වන එන්නත් මාත්‍රාව ලබා දීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (21 වැනිදා) දිනයේදීම සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කිරීමයි. එදින පැවැති කොවිඩ්-19 මර්දනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී, සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීම සහ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස එන්නතේ පළමු හා දෙවන මාත්‍රාවන් ලබාගත් ලාංකිකයන්ට 'බූස්ටර් මාත්‍රාවක්', එනම් තුන්වන එන්නත් මාත්‍රාව ලබා දීම සුදුසුයැයි තීරණය කෙරිණි. ඒ අනුව ආරක්ෂක අංශ සාමාජිකයන්, සෞඛ්‍ය සේවකයන් සහ සංචාරක කර්මාන්තයට සම්බන්ධ මිලියනකට වැඩි පිරිසකට එළඹෙන නොවැම්බර් පළමුවැනිදා සිට කොවිඩ්-19 එන්නතේ තුන්වන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. මේ වනවිටත් ශ්‍රී ලංකාවේ මිලියන 22 ක ජනතාවගෙන් සියයක 60% කටත් වඩා ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන්ය.

එන්නත්කරණයෙන් ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට

එහිදී එන්නත්කරණයෙන් ආසියාවේ පළමු තැනට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී සිටින අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව එන්නත් ලබාගත් ජනතාවට දෙවන මාත්‍රාවක් ලබා දීම සඳහාද අවශ්‍ය එන්නත් තොගවලින් කොටසක් මේ වන විට ගබඩාවලද, ඉතිරිය ඇණවුම් මට්ටමේ ද පවතී. මෙලෙස සංඛ්‍යාත්මකව අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණවත් පරිදි පැවතියද ඉදිරියේ දී පැන නැගිය හැකි ගැටලු කිහිපයක්ම මේ වන විට සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත.

සයිනොෆාම් ගැටලුවක්

එම ගැටලු අතරින් පළමුවැන්න වන්නේ අවුරුදු 60ට වැඩි අය සඳහා දැනට ලබා දී ඇති චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත තුන් වැනි මාත්‍රාව ලෙස නැවත ලබාදීමයි. මැද පෙරදිග කලාපය සිදුකළ පර්‌යේෂණයක් උපුටා දක්වමින් ලංකා වෛද්‍ය සංගමය පසුගියදා පෙන්වා දුන්නේ සයිනොෆාම් එන්නත වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා අඩු ඵලදායිතාවක් පෙන්නුම් කරන බවයි.

වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ 60ට වැඩි ජනගහනයට බූස්ටර් එන්නතක් ලෙස ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම සුදුසු වන බවයි. වෛද්‍ය සංගමයේ මෙම නිර්දේශය මේ සතියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින්ද තහවුරු කෙරිණි. එහි පර්‌යේෂක ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රමුඛ කණ්ඩායමක් ඉදිරිපත් කළ පර්‌යේෂණ පත්‍රිකාවක් පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරිණි. සයිනොෆාම් එන්නත ලබාගත් අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය වඩා ඉක්මනින් අඩු වන බව ඉන් අනාවරණය කෙරිණි.

බූස්ටර් එන්නත ඉන්දියාවෙන්

විශේෂයෙන් වෛද්‍ය සංගමයේ නිර්දේශය පැමිණීමත් සමගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරන ලද්දේ ඉදිරි එන්නත්කරණ වැඩසටහන් වෙනුවෙන් ෆයිසර් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් දැනටමත් ඇණවුම් කර ඇති බවයි. මෙහිදී වර්ග දෙකින් ආනයනය කරන එන්නත් මාත්‍රා සංඛ්‍යාව කොපමණ දැයි අනාවරණයවී නොමැති බැවින් ඇස්තමේන්තුවක් පිළිබඳව උපකල්පනය කළ නොහැකි නමුත් ඒ වෙනුවෙන් වැයවන මුදල දැවැන්ත බව රහසක් නොවේ (අවම තරමින් රුපියල් කෝටි 10,000කට වැඩිවේ). මේ ආකාරයට ඉදිරියටත් එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ගෙන යෑම සඳහා දැවැන්ත මුදලක් වැය කළ යුතුව ඇති පසුබිමක එන්නත් ලබා ගැනීමට ඇති විකල්ප අවස්ථා පිළිබඳවද වෛද්‍ය විශේෂඥයෝ අවධානය යොමු කර තිබේ.

ඉන් පළමුවැන්න වන්නේ විශේෂයෙන් සයිනොෆාම් එන්නතේ කාර්යක්ෂමතාව පිළිබඳව ප්‍රශ්නගත වී ඇති අවස්ථාවක තවදුරටත් බූස්ටර් එන්නත් සඳහා සයිනොෆාම් ආනයනය කෙතරම් දුරට වැඩදායකද යන්නයි. 'අරුණ' සමග අදහස් පළ කළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු පෙන්වා දුන් අනෙක් කරුණ වන්නේ මේ වනවිට සාර්ථක එන්නත්කරණ වැඩසටහනකින් අනතුරුව නැවත වතාවක් සිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් අපනයනය ආරම්භ කර ඇති ඉන්දියාවෙන් වඩාත් පහසුවෙන් තුන්වන මාත්‍රාවක් වෙනුවෙන් එන්නත් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි.

බ්‍රිතාන්‍ය කරන්න යන දේ

විශේෂයෙන් ඉන්දියාව සිය කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරයේ කඩඉමක් පසුගිය සතියේ බ්‍රහස්පතින්දා පසු කළේය. එනම් සිය ජනතාව වෙනුවෙන් කෝටි 100 අධික ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් ලබා දී අවසන් කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාද ඒ වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එරට සෞඛ්‍ය අංශ වෙත විශේෂ ස්තුතිය පළ කිරීමටද එය අවස්ථාවක් කරගෙන තිබෙනු දැකගත හැකි විය. ඊට ප්‍රධානම හේතුව වූයේ, මහත් වූ වසංගත තත්ත්වයක් පැවැති ඉන්දියාව මේ වනවිට එන්නත්කරණයෙන් සාර්ථකව පැවතීම ආසියානු කලාපයට මෙන්ම ගෝලීය සෞඛ්‍ය ආරක්ෂාවටද අතිශයින් වැදගත් සාධකයක් වන බැවිනි.

මෙහිදී අවධානය යොමුකළ යුතු විශේෂම කරුණ වන්නේ ෆයිසර් එන්නත වැඩිපුරම භාවිත කරන එක්සත් රාජධානියද සිය ජනතාවට ලබාදෙන තෙවන එන්නත ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිර්දේශ කිරීමයි. එක්සත් රාජධානියේ ඖෂධ නියාමන අධිකාරිය පසුගිය සැප්තැම්බර් 09වැනිදා සිය රජයට නිර්දේශ කරන ලද්දේ එළඹෙන ශීත සෘතුවට පෙර කොවිඩ්-19 වයිරසයට එරෙහි මාත්‍රා දෙකක් ලබාගත් බ්‍රිතාන්‍ය වැසියන්ට ඇස්ට්‍රාසෙනෙකා බූස්ටර් එන්නතක් ලබාදීම සුදුසු බවයි.

එක්සත් රාජධානියේ වයස අවුරුදු 12ට වැඩි පුද්ගලයන් මිලියන භාගයක් වෙනුවෙන් මෙම බූස්ටර් එන්නත ලබාදීම මේ වන විටත් ආරම්භ කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහනේ මීළඟ අදියර හෙවත් තෙවන මාත්‍රාව (බූස්ටර් එන්නත) ලබාදීමේදී, එය සාර්ථක කරගැනීමේ ඉහත කී සියලුම උපක්‍රම පිළිබඳව සලකා බැලිය යුතු බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහසයි.

-නයන තරංග ගමගේ

Post a Comment (0)
Previous Post Next Post