ලක්ෂෙට හැටදාහක පොලියක් පෙන්වා හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ගේ සේසතම හූරලා

ත්‍රිවිධ හමුදාව හා ​පොලිසියේ සාමාජිකයන් ඉලක්ක කරමින් අන්තර්ජාලය ඔස්සේ වැඩි පොලී ප්‍රතිලාභ ගෙවන බව හඟවා කරගෙන ගිය මූල්‍ය ජාවාරම් මාලාවක් පිළිබඳ අනාවරණය වී ඇත.

මෙම ජාවාරම්වලට හසුවූ ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් තමන් ආයෝජනය කළ මුදල් නොලැබී යාමෙන් සේවය අත්හැර යාම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් හා අපරාධවලට සම්බන්ධ වී ඇති බවට ද හෙළි වී තිබේ.

රුපියල් ලක්ෂයක තැන්පතුවකට මාසිකව රුපියල් හැටදහසක පොලියක් ගෙවන බවට ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක මුවාවෙන් කරගෙන ගිය ව්‍යාපාරයට ඇතැම් හමුදා සාමාජිකයන් රුපියල් ලක්ෂ පනහ පවා තැන්පත් කර ඇත. තම ඒකකවල සෙබළුන්ගෙන් හා වෙනත් අයගෙන් පොලියට ගත් මුදල් මෙන්ම පවුලේ අයගේ වත්කම් උකස් කර බහුතරයක් මෙවැනි මුදල් ආයෝජනය කර ඇතැයි හෙළිවී තිබේ.

මේ තත්ත්වය මත තම කඳවුරට මෙන්ම ගමට යාමට නොහැකිව සිටින සෙබළුන් හා නිලධාරීන් ද සිටින බව පැවැසේ.

ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා ප්‍රවාහනයට මෙන්ම අපරාධවලටද යොමුවීමේ ප්‍රවණතාවක්ද මෙම හේතුව මත උද්ගත වී ඇත.

පොළොන්නරුව කේන්ද්‍රකරගත් එක්තරා මූල්‍ය ආයතනයක් දැනට මේ අයුරින් රුපියල් කෝටි ගණනක් වංචා කර ඇත. එම ආයතනයට අදාළව රුපියල් කෝටි හත්සියක් තිබූ ගිණුමක් මහ බැංකුව මගින් අත්හිටුවා තිබේ.

කුරුණෑගල කේන්ද්‍රකර ගනිමින් පවත්වාගෙන ගිය චිත්‍රපට නිෂ්පාදකයකුට අයත් ආයතනයකින් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන් 9440කට මුදල් වංචා කර ඇතැයිද අනාවරණය වී ඇත. එම ව්‍යාපාරිකයාගේත් බැංකු ගිණුම් හා වත්කම් රැසක් මහ බැංකුව මගින් තහනම් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයාට යොමුකර තිබේ.

කුරුණෑගල කේන්ද්‍රකරගත් මූල්‍ය ජාවාරමට හසු වූ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ මෙන්ම රාජ්‍ය ආයතනවල පිරිස් ලබන සෙනසුරාදා (23දා) විරෝධතාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. මෙම විරෝධතාවට රුපියල් කෝටි දහසක් වංචා කර සැඟව සිටින ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තම මුදල් ලබාදෙන ලෙසට බලපෑම් කිරීම සඳහාය.

මෙම ජාවාරම්කරුවන් දේශපාලනඥයන් හා පොලිසියේ ඉහල නිලධාරීන් සමග සමීප සබඳතා පවත්වන නිසා නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන බවද අනාවරණය වේ.

-තිස්ස රවින්ද්‍ර පෙරේරා

Post a Comment (0)
Previous Post Next Post