දින 106ක වර්ජනයෙන් පසු... - වැඩට එන ගුරුවරු හවසට උද්ඝෝෂණයේ


වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් දින එකසිය හයක කාලයක් වැඩවර්ජනයේ යෙදුණු ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට අයත් සියලු ගුරුවරු අද ( 25 වැනිදා) සේවයට පැමිණෙති.

වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන්නැයි බලකරමින් අද (25 වැනිදා) සවස දෙකට සියලු ප්‍රධාන නගරවල දී ගුරු විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණ පැවැත්වීමටද එම සන්ධානය සැලසුම් කර ඇත. ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් උදේ 7.30 සිට සවස 1.30 දක්වා පමණක් ඉගැන්වීම් කටයුතු කිරීමටත් බාහිර කාර්යයන් කිසිවකට සම්බන්ධ නොවීමටත් එම සන්ධානය තීරණය කර තිබේ.

දිනයේ නියමිත කාලයට පෙර හෝ පසු මෙන්ම නිවාඩු දිනවලදීද අමතර රාජකාරිවලින් බැහැර වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවැසීය. පාසල් අධ්‍යාපන වාර්තා සැකසීම, වාර්ෂික සහ පස් අවුරුදු සැලසුම් සකස් කිරීම ඇතුළු කටයුතුවලින් මෙන්ම පාසල් සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීමෙන්ද විදුහල්පතිවරු ඉවත් වන බවත් ඒ මහතා සඳහන් කළේය.

-නිලන්ත මදුරාවල

Post a Comment (0)
Previous Post Next Post