මන්නාරම, ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට හොර රහසේ බෝට්ටු මගින් රැගෙනවිත් නීති විරෝධී ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් නම් පුපුරන ද්‍රව්‍ය කූරු 7990ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු මැද නාවික විධානයට අයත් තම්මැන්නා සහ ගජබා යන ආයතනයන්ට අනුයුක්ත විශේෂ නාවික හමුදා කණ්ඩායමක් විසින් මන්නාරම පොලිසිය හා එක්ව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය කූරු තොගය සමග මෙලෙස සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුපුරන ද්‍රව්‍ය තොගයේ පුපුරන ද්‍රව්‍ය කරල් 7,990ක් තිබී ඇති අතර ඒවායේ සම්පූර්ණ බර කිලෝ 998යි ග්‍රෑම් 750ක් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
ඉන්දියාවේ Vetrivel Explosives Pvt Ltd ආයතනයේ නිෂ්පාදිත මෙම පුපුරන ද්‍රව්‍ය කරලක් ග්‍රෑම් 125කින් පමණ බරකින් යුක්ත වන අතර එම පුපුරන ද්‍රව්‍ය කරල් උසස් පුපුරන ද්‍රව්‍යයක් වන ඉමල්ෂන් වර්ගයට අයත් වන බව ද කියයි.
$ads={2}
මන්නාරම, ශාන්තිපුර ගෙවල් සියය ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු පුපුරන ද්‍රව්‍ය මෙරටට ගෙන ආ බව කියන තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 55 හා 59 වයස්වල පසුවන මන්නාරම, ශාන්තිපුරම් හා වංකාලේ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම අධිබලැති පුපුරන ද්‍රව්‍ය කුමන අරමුණකින් හොර රහසේ මෙරටට ගෙන්නුවේ දැයි අනාවරණය කර ගැනීම සඳහා සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව මන්නාරම පොලිසිය කියයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය කරල් මසුන් මැරීමට මෙන්ම ගල්වෙඩි දැමීමටද යොදා ගැනෙන බවත් මෙම සැකකරුවන් ආරක්ෂක අංශවලට හසුනොවන ආකාරයට හොර රහසේ මෙම ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන සඟවා තැබීම ගැටලුවක් බවත් පොලිසිය කියයි.
නාවික හමුදා නිලධාරීන් සිදුකළ මෙම මෙහෙයුමට විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය මත යාපනය කලාප අණදෙන නිලධාරි ජේයෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මන්නාරම විශේෂ කාර්ය බළකා කඳවුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.පී.ඒ.එස්. නිරෝෂන් ඇතුළු නිලධාරීන්, විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශ නිලධාරීන් හා මන්නාරම පොලිස් නිලධාරීහු ද මෙම වැටලීමට එක්ව සිටියහ.