නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවීන් ඊයේ (නොවැ. 21) නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඊයේ දින වසා දැමුණු බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.
හෙට්ටිආරච්චි මහතා ඊයේ දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, නුවරඑළියේ එළවළු වගා ගොවීන්ට අවශ්‍ය කරන රසායනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදීම හමුවේ ගොවීන් මේ වනවිට වගා කර ඇති අස්වැන්නේ ඵලදාව අඩුවීම හමුවේ එයට විරෝධය පෑමක් වශයෙන් ඊයේ නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොග ලබා දීමෙන් වැළකී සිටි බවයි.
ඔහු පෙන්වා දුන්නේ, රටේ සමස්ත එළවළු වගා කරන ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා නොදීම හමුවේ කොළඹ මැනිං වෙළෙඳපොළ, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයටද දිනපතා ලැබෙන එළවළු තොග ප්‍රමාණය ඉතා අඩු වී ඇති බවයි.
පවත්නා තත්ත්වය මත ඉදිරියේදී එම ආර්ථික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් ම වසා දැමීමට සිදු වන බවත්, කෘෂිකර්ම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් මේ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසී ය.
$ads={2}
මේ අතර, කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු තොග විශාල වශයෙන් හිඟවීම නිසා 21 දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය කියයි.
ආර්ථික මධ්‍යස්ථානයේ පුරා මේ දිනවල විශාල වශයෙන් කැරට්, ලීක්ස්, බෝංචි, මාළුමිරිස්, ගෝවා ආදී කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු අලෙවි කිරීම් සඳහා තිබුණ ද මෙදින ඉතා සීමිත එම එළවළු ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් 22 දිනයෙන් පසුව බොහෝදුරට ආර්ථික මධ්‍යස්ථානයේ කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු හිඟවීමක් ඇතිවිය හැකි බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා පැවසීය.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි වෙළෙන්දන් මෙදින ලීක්ස් කිලෝවක් රුපියල් හාරසියය ඉක්මවා තොග මිලකට අලෙවි වන බව පැවැසූහ. කැරට් තොග මිලද රුපියල් 300 ඉක්මවා තිබිණි, මාළුමිරිස් කිලෝවක තොග මිල රුපියල් හාරසියය ඉක්මවා පැවැතීමද විශේෂත්වයකි. උදෑසන කාලයේ බෝංචි කිලෝවක මිල රුපියල් 350ක් පැවැති බව වෙළෙන්දෝ පවසති. කෙසේ වෙතත් දහවල් වන විට බෝංචි කිලෝවක මිල රුපියල් 250 දක්වා පහත වැටී ඇති බව ද ගොවීන් පෙන්වා දුන්හ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි බොහෝ ගොවීන් ඉදිරියේදී එළවළු වගාව සිදු කිරීම සඳහා පොහොර සහ රසායනික ද්‍රව්‍ය නොමැතිවීම නිසා බරපතළ ප්‍රශ්න රැසක් මතුවන බව පැවසූහ. ආර්ථික මධ්‍යස්ථානයට බෝංචි රැගෙන විත් තිබූ ගොවි මහතුන් කිහිපදෙනෙකු රසායනික පොහොර හෝ වෙනත් ගැටලුවක් ප්‍රශ්නයක් නොව මෙරට ජනතාව මහා කම්මැලිකමකට හුරු වීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බව කීහ. මහන්සි වී වගා කරන්නේ නම් මෙම මහ පොළොවේ ඕනෑ ම අස්වැන්නක් ලබාගැනීමට හැකි බව පෙන්වා දුන් එම ගොවීන් තමන් වගා කළ බෝංචි පෙන්වා දෙමින් කිසිදු ප්‍රශ්නයකින් නොමැතිව මෙම මහ පොළොවේ මහන්සි වී වගා කළොත් අස්වැන්න සරුවන බව පෙන්වා දුන්හ.
දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඇතැම් කණ්ඩායම් විශාල ප්‍රචාර ගෙන යන බවත් මෙහි සත්‍යතාව ගොවීන් දන්නා බවත් එම ගොවි කණ්ඩායම් කෑගසමින් පෙන්වා දෙන්නට වූහ. මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා කියා සිටියේ දෙසැම්බර් මාසය වන විට උත්සව සමයේ එළවළු වර්ග රැසක තොග මිල කිලෝවක් රුපියල් 500 ඉක්මවා යනු ඇති බව පැවැසූහ. කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු නොමැති වුවහොත් පහතරට එළවළුවලට ඉහළ ඉල්ලුමක් පැවැතීම නිසා එම මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.
උඩරට සහ පහතරට එළවළු වර්ග රැසක මිල තවදුරටත් ඉහළ යාම හමුවේ තම ව්‍යාපාර කටයුතු පාඩු ලබන තත්ත්වයකට පත්වී ඇති බව හැටන් ප්‍රදේශයේ එළවළු සහ සිල්ලර වෙළෙන්දෝ පවසති.
උඩරට සහ පහතරට සෑම එළවළු වර්ගයක ම කිලෝවක සිල්ලර මිල රු 400 වඩා ඉහල ගොස් ඇති බව ත්, තම වෙළෙඳ සල්වලට ලැබෙන එළවළුවල පිරිපුන් බවින් අඩුව පවතින නිසා එළවළු වෙළෙඳපොළේ පවතින මිලට අලෙවි කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ත් වෙළෙන්දෝ කියා සිටිති.
එළවළු මිල ඉහළ යාම හමුවේ පාරිභෝගිකයන් වෙන දා මෙන් දින කිහිපයකට සරිලන සේ එළවළු මිල දී නොගන්නා බව ත්, එදිනෙදා අවශ්‍යතාව පරිදි ග්රැම් 250 වැනි ප්‍රමාණයක් මිලදී ගන්නා බව ත් හැටන් ප්‍රදේශයේ එළවළු වෙළෙන්දෝ පවසති.
මඤ්ඤොක්කා , වට්ටක්කා, කෙසෙල්මුව වැනි එළවළු පමණක් රු 200 අඩුවෙන් අලෙවි වන බවත්, ව්‍යාංජන සඳහා භාවිත කරන අඹ කිලෝවක් රු 160 වැනි මිලකට අලෙවි වන බව එම වෙළෙඳුන් පැවසූහ.
තම වෙළෙඳ සල්වලට එළවළු තොග වශයෙන් ලබා දෙන හැටන් සහ පිට පළාත්වලින් වෙළෙදුන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හමුවේ මෙසේ එළවළු මිල ඉහල ගොස් ඇති බව ත්, පවතින රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වීම එළවළු මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බව වෙළෙන්දෝ පෙන්වා දෙති.