මත්පැන් නිෂ්පාදිත සමාගම් විසින් රජයේ හෝ සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදිත සමාගම්වලට ඊයේ (03දා) දැනුම් දී තිබේ.
මත්පැන් නිපදවන අමුද්‍රව්‍ය මිල ඉහළයෑම හේතුවෙන් මත්පැන් මිල විවිධ ගණන්වලින් ඉහළ දමන්නට එම සමාගම් කටයුතු කර ඇතැයි තමන් විශ්වාස කරන බවත් එසේ වැඩිකර ඇත්නම් එයට එරෙහිව පියවර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට නීතිමය ප‍්‍රතිපාදන නොමැති බවද ඒ මහතා පැවසීය.
මත්පැන් මිල වැඩි කිරීම මුදල් අමාත්‍යාංශය විසින් බදු වැඩිකිරීම හරහා සිදුකරන බවත් මෙවර මුදල් අමාත්‍යාංශය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව නොදැනුවත්ව මත්පැන් මිල ඉහළ දමා තිබෙන බවත් ඔහු සඳහන් කරයි.
මින් ඉදිරියට රජයේ අනුමැතියකින් තොරව මත්පැන් මිල ඉහළ දමනවා නම් ඒ පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බව ද ඒ මහතා වැඩිදුරටත් පවසයි.