සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කළ විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු විය.
ජනාධිපතිවරයා මෙම පොරොන්දුව ලබාදුන්නේ වැඩ නිම කළ මාර්ග 1500ක් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් විරකැටිය, මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේ පෙරේදා (6 වැනිදා) පැවති උත්සවයේදීය.
‘‘සමහර අය කියනවා අපි බලාපොරොත්තු වුණේ මිල්ටරි ක්‍රමය ගෙනියන ගෝඨාභය කෙනෙක් කියලා. මට පුළුවන්. හැබැයි ගොවියට කාබනික පොහොර භාවිත කරන්න කියලා බෙල්ලෙන් අල්ලලා හමුදාවේ විදියට කියන්න. නමුත් මට එහෙම කරන්න අවශ්‍යතාවක් නැහැ. ඒකද බලාපොරොත්තු වුණේ, නැහැ. සමහර අය කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයි කියලා. ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තු වුණේ ඔහොම එක්කෙනෙක් නෙවේ, හමුදාවේ වගේ එක්කෙනෙක් කියලා. ඕන නම් මට පුළුවන් එහෙම කරන්න. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්’’ යැයි ද කී ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
අද, මාව විවේචනය කරන කොටස් දෙකක් ඉන්නවා. එක පිරිසක් තමයි, මේ පසුගිය වසර 02 ගැන අවබෝධයක් නැති කොටස, ඔවුන් හිතන්නේ මේ පසුගිය වසර 02 සාමාන්‍ය තත්ත්වයේ වසර 02ක් කියලා. නමුත් මම පමණක් නෙවේ මුළු ලෝකයේම නායකයන් මුහුණ දුන් විශාල අභියෝගයක් වූ කොවිඩ් වසංගතය පැතිරුණ අවුරුදු දෙකකට අපි මුහුණ දුන්නා. අනෙක් කොටස තමයි මගෙන් විප්ලවීය වෙනසක් ඉල්ලපු කොටස. හැබැයි ඉතින් මේ වෙනස කරන්න ගියහම ගොඩක් අයට රිදෙනවා. මෙන්න මේ රිදෙන කොටස තමයි විවේචන කරන්නේ.
කොවිඩ් වසංගතය නිසා ඩොලර් බිලයන 05ක විදේශ විනිමයක් ගෙනාපු සංචාරක අංශය සම්පූර්ණයෙන්ම බින්දුව දක්වා වැටුණා. කුඩා ආර්ථිකයක් තිබෙන අප වැනි රටක ඩොලර් බිලියන 05ක් නැති වුණාම කොපමණ බලපෑමක් ආර්ථිකයට ඇතිවෙනවද කියලා ඔබ දන්නවා.
එපමණක් නොවේ, විශාල පිරිසක් සංචාරක කර්මාන්තයෙන් යැපුණා. ඉහළම පන්නයේ හෝටල්වල ඉඳලා තැබිලි විකුණන පුද්ගලයා දක්වා මිලියන 03කට වැඩි ජනතාවක් යැපුණා. ඒ අයගේ ආදායම සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. අපි රට වහනකොට, කුඩා කඩයක් කරන ව්‍යාපාරිකයාගේ ඉඳලා ඉහළ ව්‍යාපාරිකයා දක්වා සියලු දෙනාගේ ආර්ථිකය කඩා වැටෙනවා.
මුල් කාලයේ දී ඇඟලුම් කර්මාන්තය වසා දැමූ නිසා අපේ අපනයන ආදායම නැති වෙලා ගියා. දැන් අපි ඒක නැවත හදාගෙන තිබෙනවා. ඒ වගේම ලක්ෂ 02කට ආසන්න මැද පෙරදිග සේවය කළ අයගේ රැකියා නැතිවෙලා. ඒ රටවල ආර්ථිකය කඩා වැටුණු නිසා. අපි ඒ අයව ලංකාවට ගෙනාවා. ඒ අයගෙන් මෙරටට ආපු මුදල් අපට නැති වුණා. මෙවන් ආර්ථික පසුබිමක පෙර ආණ්ඩු විසින් ගත් ණය අවුරුද්දකට ඩොලර් බිලියන 04ක් අපට ආපහු ගෙවන්න සිදු වුණා. අපි මේ අවුරුදු දෙක තුළත් ඒ ණය ගෙව්වා. ඊට අමතරව ස්වෛරී බැඳුම්කර පොලිය ඩොලර් බිලියන 1.5ක් ගෙවන්න ඕන. ඒවත් අපි ගෙව්වා. අපට පහුගිය ආණ්ඩුව භාරදුන්නේ ඉතාම සුළු සංචිතයක්.
අද ගොවි මහත්තුරු කියලා පිරිසක් උද්ඝෝෂණ කරනවා. නමුත් ගොවියාව බලාගත්තේ මොන ආණ්ඩුවද කියලා තේරුම් ගන්න ඕන. මම බලයට එනකොට වී රුපියල් 25ට විකුණ ගන්න බැරුව හිටියේ. මම ප්‍රවෘත්තිවල දැක්කා එක ගොවි මහත්තයෙක් කියනවා අපට අඩුගානේ රුපියල් 40ක් දෙන්න කියලා. අපි ඊට වඩා දුන්නා. ඒවගේම එදා පොහොරවලටත් මුදල් ගෙව්වා. මම ඇවිල්ලා ඒ පොහොර නිකන් දුන්නා. එදා රුපියල් 25ට විකුණ ගන්න බැරි වීවලට රුපියල් 50ක සහතික මිලක් දුන්නා. ඒ සහතික මිල 50ට දුන්නත්, අද 60,70,80ටත් විකුණනවා. කමක් නැහැ. ඒක යන්නේ ගොවියට. දැන් අපි අවුරුදු දෙකක් රසායනික පොහොර නිකන් දුන්නා.
හැට නව ලක්ෂයක් ජනතාව මට ඡන්දය දුන්නේ මගේ මුහුණට නොවේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මම ඉදිරිපත් කළ ප්‍රතිපත්තිවලට. ඒ ප්‍රතිපත්තිවල පැහැදිලිව ප්‍රකාශ කළා අපි හරිත කෘෂිකර්මාන්තයකට යනවා කියලා. අපි පැහැදිලිව කිව්වා මේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියලා. අපි කිව්වා වස විසෙන් තොර ආහාර හදනවා කියලා.
මම දැක්කා විශේෂඥයෝ රූපවාහිනියට ඇවිල්ලා ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරනවා, වස විස ආහාර දෙන එක නෙවේ ආහාර සුරක්ෂිතතාව කියන්නේ. වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දෙන එකයි. අපි පොරොන්දු වුණේ ඉතා අසීරු කාර්යයක්.
ඒක තමයි මම කිව්වේ ඔබ වෙනසක් ඉල්ලුවා, විප්ලවීය වෙනසක් ඉල්ලුවේ. ඒ වෙනස කරන්න අමාරුයි. පුරුදු ක්‍රමයෙන් බැහැරව. මට අවශ්‍ය නැහැ, ගොවි ජනතාවට කිසිම අපහසුතාවක් ඇති කරන්න. මට අවශ්‍ය නැහැ, ගොවි ජනතාවට බලෙන් කාබනික පොහොරවලට යන්න කියන්න. නමුත් මම කළේ හරි දේ, පොරොන්දු වුණ දේ.
අපි දැක්කා එදා යහපාලනය යටතේ ජනාධිපතිතුමා, අගමැතිතුමා යන කොට විශාල කාර් ප්‍රමාණයක් යනවා. පාරවල් වහනවා, ගිලන් රථ යනවා, ගිනි නිවන රථ යනවා. මම ඒවා නැති කළා. දැන් මම යනකොට යන්නේ ආරක්ෂක රථ දෙකයි, මම එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහිල්ලා හිටියේ, සාමාන්‍ය හෝටලයක. මගේ භාර්යාව මාත් එක්ක ගියා. එයාගේ ටිකට් එකට මම සල්ලි ගෙව්වා. මගෙත් එක්ක හත් දෙනයි ගියේ. හැබැයි එතන වැඩ කරන අය කිව්වා, ඉස්සෙල්ලා ජනාධිපතිතුමා නම් මෙන්න මෙහෙම ගෙනාවා, අර හොඳ හෝටලයේ හිටියේ, ඇයි ඔබතුමා මෙතන ඉන්නේ, මාධ්‍යයෙන් ආවා, ඇයි ඔබතුමා කට්ටිය ගෙන්නුවේ නැත්තේ කියලා. මම එහෙම කළේ නැහැ. ඒක තමයි වෙනසක් කරන්න ඕන. මාත් එක්ක මගේ ඥාතිනුත් ගියා නම් ඒ අයත් සංතෝෂයි, ඒ අය අරගෙන ගියේ නැති වුණහාම කියන්නේ අපේ මාමා ජනාධිපතිවුණාට වැඩක් නැහැ, අපට යන්නවත් නැහැ කියලා ඒකයි වෙනස.
මටත් අර රජ ගෙදරක් තියෙනවා. ඒක බොහොම විශාලයි, ඒකෙ ඉන්න අමාරුයි. අපරාදේ ලයිට් බිල් යනවා. මම ඉන්නේ මම හිටපු ගෙදරමයි. ඇත්තටම සමහර අය ඇවිල්ලා අහනවා මේකෙද ඉන්නේ; යන්නකො අර රජගෙදරක් තියෙන්නේ කියලා, ඒකයි වෙනස.
මම අභයාරාමයේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිකම ලබා දුන්නා. උන්වහන්සේ මේ රජය පත් කරන්න වැඩ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ ඉඳලා උන්වහන්සේ වැඩ කළා. ඒක ඇත්ත. හැබැයි පසුගිය කාලයේ යම් යම් හේතු නිසා උන්වහන්සේ අපට විරුද්ධව කතා කළත් විජයදාස රාජපක්ෂ මහත්තයා, සජිත් ප්‍රේමදාස මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියා උපදෙස් ගන්න. ස්ටාලින්, මහින්ද ජයසිංහ කියන පුද්ගලයෝ ගියා උපදෙස් ගන්න. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ගාවට. හැබැයි උන්වහන්සේ කුලපති කළාම ඒකට සුදුසු නැහැ කියනවා.
අද මුං ඇටවලට කීයක් හම්බ වෙනවද, මම ආපු ගමන්ම පිටරටින් එන මුං ඇට, කව්පි, උඳු මේ වගේ බෝග 16 ක් ගේන එක නතර කළා. අද මුං ඇටවලට ගොවියට කීයක් හම්බවෙනවද රුපියල් 450ක්, ගම්මිරිස්වලට කීයක් හම්බවෙනවද, කුරුඳුවලට දෙගුණයකටත් වඩා හම්බවෙනවා කිලෝ එකකට 2800-3200 අතර. මම කහ ගේන එක සම්පූර්ණයෙන් නතර කළා. දැන් අපි කහවලින් ස්වයංපෝෂිතයි. කහ ගොවියට අද කීයක් අතට හම්බවෙනවද, ඉඟුරුවලට කීයක් හම්බවෙනවද, ගොවියට වැඩි මුදලක් එනකොට පාරිභෝගිකයට ගැටලුවක් එනවා, ඇත්ත. ගොවියගේ ආදායම අඩු කරන්න බැහැ. අපේ යුතුකම ගොවියා බලාගන්න එක. ඒකයි අපි කරලා තියෙන්නේ. අපි පාරිභෝගිකයාට ඒ වෙනුවෙන් සහන දෙනවා. ඒකයි ක්‍රමවේදය.
අද විපක්ෂය කතා කරන කොට ගොවියට ලැබෙන ප්‍රමාණය ගැන කතා කරන්නේ නැහැ. වෙළෙඳපොළේ මිල ගැන තමයි කතා කරන්නේ, ගොවියගෙන් රුපියල් 50ට නාඩු ගත්තොත් හාල් කිලෝවක් දෙන්න පුළුවන් රුපියල් 96ට හෝ 98ට. සියලුම ලාභ ලබලා. හැබැයි ඒ සහල් මිලත් ඒ ආකාරයෙන්ම වැඩි වෙනවා. අපට අවශ්‍ය නැහැ ගොවියට ලැබෙන මුදල පාලනය කරන්න, ඒක ගොවියට යනවා නම්. මෙන්න මේකයි හාමුදුරුවනේ අද තත්ත්වය.
“සෞභාග්‍යයේ දැක්මේ” ඉදිරිපත් කර තිබෙන ඒ විප්ලවීය වෙනස අපි කරනවා. මම බලයට පත් වුණ වෙලාවේ තරුණයන් ඉදිරියට ඇවිල්ලා තාප්පවල චිත්‍ර ඇන්දා. පුරන් කුඹුරු වගා කළා. මම ඔවුන්ට ආරාධනා කරනවා මේ රජය විශ්වාස කරලා නැවතත් ඉදිරියට එන්න. කුඹුරු ගොවිතැන් කරන්න.
බය වෙන්න එපා, මේක විශාල වෙනසක්. අපට පුළුවන්නම් මේ වෙනස කරන්න අප රටේ ව්‍යවසායකයෝ වැඩි කරන්න පුළුවන්. පර්යේෂණ කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් නම් අපට කියන්න පුළුවන් මේක කරපු පළවෙනි රට අපේ රට කියලා. එවිට අපට වැඩියෙන් සංචාරකයන් ගෙන්න ගන්න පුළුවන්. අපේ ආහාර පිටරට යවලා, හොඳ විදේශ විනිමයක් ගන්න පුළුවන්. මේක අභියෝගයක්. මේක පර්යේෂණයක්. මම සියලු ගොවි මහත්තරුන්ගෙන් ඉල්ලා සිටිනවා, අපි වගා කරමු. ඒ ඉල්ලපු විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම සිදුකරන බවට පෙරොන්දු වෙනවා.