මගේ රටටත් කැටකිරිල්ලියට වගේ නිදහසක් තිබිය යුතු වේ - සඳහිරුසෑය සසුනට පුදමින් අගමැති මහින්ද රාජපක්ෂ කියයි


කැට කිරිල්ලියට උගේ පුංචිම ගෙදර තියෙන නිදහස ලෝකය හමුවේ අපිටත් තියෙන්න ඕනෑ 

ඇතැම් සේනාංක යුද්දෙ ඉවර වුණු ගමන් කාලතුවක්කු උණ්ඩ තලලා ඒවායින්බුදු පිළිම හැදුවා

හිටපු නායකයන් එදා අපේ ත්‍රිවිධ හමුදාව, එහි ශක්තිය ගැන විශ්වාස කළේ නැහැ

සඳහිරු සෑය හදලා ප්‍රාර්ථනා කරන්නේ මතු අනාග​තයේ මේ බිමෙන් ලේ කඳුළු ගංගා තුරන් වෙන්න කියලා

ජීවිත පරිත්‍යාගයෙන් රටට නිදහස උදා කළ රණවිරුවන්ගේ ආරක්ෂාව වර්තමාන නායකයන් මෙන්ම අනාගත නායකයන් ද භාර ගත යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය.

සඳහිරු සෑය චෛත්‍යයෙන් සිහිපත් කරන රණවිරුවන් කළ යුද්ධය ඉතිහාසයේ නිදහස සඳහා මෙතෙක් කළ සියලු යුද්ධවලට වඩා අසීරු වූ බවත් ඒ මහතා කීවේය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ ඉදි කෙරුණු සාමයේ සංකේතය, සඳහිරු සෑය බුදු සසුනට පූජා කිරීමේ උතුම් පුණ්‍යකර්මයට ඊයේ (18 වැනිදා) දායක වෙමිනි.

$ads={2}

අගමැතිවරයා මෙසේ ද කීවේය.

‘‘මේ රට මොන තරම් පුංචි වුණත් අපිටත් අපේ රටේ ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕනෑ. මේ සෑය හදල අපි ලෝකෙට කියන්නෙ ඒකයි. ජීවිත පරිත්‍යාග කරලා ඒ නිදහස උදා කළ රණවිරුවන්ගේ ආරක්ෂාව අපේ නායකයොත් අනාගතේ පහළ වෙන නායකයොත් භාර ගන්න ඕනෑ බව මේ සෑය හමුවේ මම කියනවා.

ලේ ගංගාව නතර කරළා, මරණ බිය තුරන් කරළා මේ රට අභයභූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ රණවිරු සෑය හදලා ප්‍රාර්ථනා කරන්නේ මතු අනාගතයෙත් ලේ කඳුළු මේ බිමේ නතර වෙන්න කියලයි.

රණවිරුවන්ගේ දෑතින්ම ගොඩ නගපු මේ මහා චෛත්‍යය රණවිරුවන් නාමයෙන් ලෝකයාට පිරිනමන මේ අවස්ථාවට මම සහභාගි වෙන්නේ ඉතාම උද්දාමයෙන් බව කියන්න ඕනෑ. දොරේඅප්පා නගරාධිපතිතුමාගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න ගිහින් මන්නාරමේදී මරා දාපු පොලිස් නිලධාරි බස්තියන් පිල්ලේගේ, 1981 යාපනේ දී මියගිය කෝප්‍රල් හේවාවසම්ගේ සිට නන්දිකඩාල්වල අවසාන දිනයේ මියගිය සෙබළා දක්වා සියලු රණවිරුවන්ට මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

අපි ඉතිහාසය පුරාම යුද පිටියේ ජයග්‍රහණය ලැබුවේ දස්කම් නිර්භීතකම් නිසාම පමණක් නොවෙයි. මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු මහ රජතුමා ඓතිහාසිකව අපිට හඳුන්වා දීපු උදාර මානුෂීය සම්ප්‍රදාය ඉතිහාසය පුරාම වගේම අදත් අපි අනුගමනය කරන නිසායි.

අපි එදා වාගේම මෙදා යුද්ධ කළෙත් නිදහස සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි.

යුද්දෙ ඉවරවුණ ගමන්ම අපි රණවිරුවන් වෙනුවෙන් රණවිරු මහා සෑයක් හදන්න මුල් ගල තිබ්බා. මට මතකයි ඇතැම් සේනාංක යුද්දෙ ඉවර වුණ ගමන්ම කාලතුවක්කු උණ්ඩ තලලා ඒවායින් බුදු පිළිම හදලා පූජා කළා. දස දහස් ගණන් තරුණයන් පුනරුත්ථාපනය කරලා නිදහස් කළා.

මේ සෑය විවෘත කරන මොහොතේ මේ රටේ එදා තිබුණ මරණ බිය ගැන මතක් කරන්න ඕනෑ. 1984 ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, කෝකිලායිවලට ගහලා 91ක් මරලා අපේ ඓතිහාසික රාජධානිවල ගම්වලට මරණ බය ගෙනාවා. එයින් පස්සේ මේ රටේ මායිම් ගම්මාන කියලා ජාතියක් ලංකා සිතියමේ ඇතිවුණා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටවපු නිසා මේ පළාතට කිව්වේ පිහිටි රට කියලා. වැඩිකල් නොගිහින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුලටත් ඒ මරණ බය ගෙනාවා. එදා ශ්‍රී මහා බෝධිය ළඟ සිල් ගත්තු උපාසක උපාසිකාවෝ 120ක් මරලා යන ගමන් විල්පත්තුවේ ගම්මානවල 81ක් මරාගෙනයි ත්‍රස්තවාදීන් ගියේ.

ඊළඟට ත්‍රිකුණාමල, මොරවැව, මහදිවුල් වැව, මැදිරිගිරිය, පල්ලිය ගොඩැල්ල, හොරොව්පතාන, ජානකපුර, ජයන්ති පුර, වැලිඔය, අම්පාර, උහන, කල්මුණේ, සියඹලාණ්ඩුව, මොරවැව වාගේම මොනරාගල සීමාවේ ඇතිමලේ දක්වාම ගම්වල මිනිස්සුන්ව කැති ගහලා මරා දැම්මා.

කොළඹ බස් නැවතුමෙන් පටන් අරන් මහ බැංකුවේ දෙහිවල දුම්රිය පොළේ බෝම්බ පුපුරවලා පටන් ගත්ත ගමන 2009 දී දකුණේ මාතර අකුරැස්සෙත් බෝම්බ පුපුරවලා පිරිසක් මරා දැම්මා.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වාගෙම සෑම ජනාධිපතිවරයෙක්ම මේ ප්‍රශ්නය විසඳා ගන්න උත්සාහ කළා. ජේ.ආර්. ජයවර්ධන තිම්පු සාකච්ඡා වට මේසේ සාකච්ඡා පැවැත් වූවා. පලක් වුණේ නැති තැන නිසා ජේ.ආර්. ඉන්දු - ලංකා ගිවිසුමක් ගහලා ඉන්දියානු හමුදාව ගෙනල්ලා උතුර භාර දුන්නා. අපේ හමුදා බැරැක්කවලට සීමා කළා. හමුදාව කඳවුරෙන් එළියට යනවානම් ඉන්දියන් හමුදාවෙන් අවසර ගන්න වෙන තැනට පත් කළා. මේ කවරුත් එදා අපේ ත්‍රිවිධ හමුදාව ගැන, එහි ශක්තිය ගැන විශ්වාස කළේ නෑ.

එයින් පස්සේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ ගුවනින් කොටි නායකයන්ව කොළඹට ගෙනල්ලා සාකච්ඡා කළා. පොලිසියේ 800ක් යටත් කරවලා පාවා දුන්නා. ඒ විතරක් නොවෙයි එල්ටීටීඊයට ආයුධ පවා දුන්නා. ඒ ආයුධත් අන්තිමට අපේ සෙබළුන්ට එරෙහිව එසවුණා. නමුත් එතුමාවත් මහ මග මරා දැම්මා.

ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලෙ සුදු නෙළුම, තවලම වාගේ වැඩසටහන් කරලා ඔස්ලෝ නුවර ගිහින් මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න සාකච්ඡා කළා. මට මතකයි ඒ කාලේ රණවිරුවන් කියන වචනය අයින් කළා. රණවිරුවන්ට රජයේ ආරක්ෂක සෙබළුන් කියන වචනය පාවිච්චි කළා. රණවිරුවන්ට ගරු කිරීම සාමයට බාධාවක් කියලයි හිතුවේ. නමුත් එතුමියටත් බෝම්බ ගැහුවා. බෝම්බ ගහලා එතුමියවත් අඩපණ කළා.

ඊළඟට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාලේ එල්ටීටීඊය එක්ක සාකච්ඡා කරලා සටන් විරාම ගිවිසුමකට ගියා. එල්ටීටීඊ පාලනයට වෙනම ප්‍රදේශ වෙන් කරලා දුන්නා. නෝර්වේ රාජ්‍යය සටන් විරාම ගිවිසුමේ නිරීක්ෂකයො හැටියට පත් කළා. අපේ හමුදාව කඳවුරුවලට සීමා කළා. ත්‍රස්තවාදීන් කඳවුරු ඉදිරියට ඇවිත් උසුළු විසුළුකරනකොට අපේ සෙබළුන්ට ඒ නින්දාවල් උසුලාගෙන ඉන්නත් වුණා.

මේ කාටත් අපේ ත්‍රිවිධ හමුදාව ගැන විශ්වාසයක් තිබුණේ නෑ. මට මතකයි අගමැති හැටියට මම උතුරට යන්න හදනකොට උතුරට යන්න නම් එල්ටීටීඊයේ අවසර ගන්න ඕනයි කියලා නෝර්වේ සටන් විරාම නිරීක්ෂකයෝ මට කිව්වා.

මට මගේ රටේ ත්‍රිවිධ හමුදාව ගැන ලොකු විශ්වාසයක් තිබුණා. රටක ජනතාවගේ, දරුවන්ගෙන් හැදුණු ත්‍රිවිධ හමුදාව ගැන විශ්වාසය නැතිවුණ දා ඉඳන් ඒ රටේ ජාතික ආරක්ෂාව අහිමි වෙනවා. ඒ වාගේමයි අපේ හමුදාව අමතක කරලා විදෙස් හමුදා, විදෙස් මැදිහත්වීම්වලට ඉඩ දුන්නා නම් තවමත් මේ රටේ ලේ ගලා යනවා.

මේ චෛත්‍යයෙන් සිහිපත් කරන රණවිරුවන් කළ යුද්ධය මෙතෙක් ඉතිහාසයේ නිදහස සඳහා කළ සියලු යුද්ධවලට වඩා අසීරුයි.

මට මතකයි එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්ධය පටන් ගන්න කළින් මම එංගලන්ත අගමැති ටෝනි බ්ලෙයාර් හමුවුණ මොහොත.

එල්ටීටීඊය නිරායුධ කරලා රටට සාමය ගේන්න ඕනෑ බව මම කිව්වහම ටෝනි බ්ලෙයාර් කිව්වා ඒක කරන්න පුළුවන් කියලා එයා නම් හිතන්නේ නෑ කියලා.

ලෝකෙම එහෙම කියද්දිත් අපිට අපේ රණවිරුවෝ වන අපේම ජනතාවගේ දරුවෝ ගැන ලොකු විශ්වාසයක් තිබුණා. අපේ රණවිරුවෝ කළේ අසමසම කැප කිරීමක්.

ඒ නිසා රණවිරුවන් වෙනුවෙන් සෑය බැන්දා විතරක් නෙවෙයි.

අපි එදා ලෝක බලවතුන් අත්සන් කළ සටන් විරාම ගිවිසුමත් අපි ඉරා දැම්මා. අපේ රණවිරුවන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබුණ යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් දැන් ඉවත් වෙලා තියෙනවා. අපි දන්නවා මේවායේ බලපෑම දැන් අපිට එරෙහිව එනවා කියලා.

නමුත් අපිට සියල්ලට වඩා වටින්නේ අපේ නිදහස.

තමන් ජීවත් වෙන බිමේ නිදහස බුදුහාමුදුරුවොත් අගය කළා. මේ ලෝකේ ඉන්න කැට කුරුල්ලා කියන පුංචිම කුරුල්ලාටත් ඌට පිය උරුමයෙන් ලැබුණ කැදැල්ලේ නිදහසේ ජීවත් වෙන්න අයිතිය තියනවා. අපේ ගම්වලත් ඉන්නවා මේ කැට කුරුල්ලා. ඒ කුරුල්ලා ගොවියො පස පෙරළන කොට, ඒ පස් පිඩැල්ල යට තියෙන පුංචි ඉඩේ තමයි ඌ ඉන්නේ. මේ කැට කුරුල්ලා එළිමහනේ ඉන්නකොට ඌව අල්ලගන්න උකුස්සො, ගිජුලිහිණි වේගයෙන් පියාසරාගෙන පොළොවට එනවා. ජාතක කතාවේ තියෙන්නේ කැට කුරුල්ලාගේ වාසස්ථානේදී ඌ අල්ලන්න ගිජු ලිහිණියා ගියාම පස්ගොඩේ හොට ඇනිලා ඌ මැරෙනවා කියලා. ඒ නිසායි බුදුහාමුදුරුවො දේශනා කළේ කැට කිරිල්ලිට වුණත් උගේ පුංචිම ගෙදර ආරක්ෂා සහිතව ඉන්න උගේ නිදහස තියෙන්න ඕනෑ කියලා. ලෝකය හමුවේ අපිටත් එහෙමයි.

ලේ ගංගාව නතර කළ, මරණ බිය තුරන් කරලා මේ රට අභයභූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ සඳහිරු සෑය හදලා ප්‍රාර්ථනා කරන්නේ මතු අනාගතයේ මේ බිමෙන් ලේ කඳුළු ගැලීම නතර වෙන්න කියලයි.“

Post a Comment (0)
Previous Post Next Post