නබිතුමාගේ වදන් ඇතුළත් කරන ලද පෝස්ටරයක් ඉරා දමන ලදැයි චෝදනා කරමින් මෙම ශ්‍රී ලාංකිකයාව ඝාතනය කර තිබුණු අතර සිය ම්ලේච්ඡ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට සහතිකයක් මෙන්ම රජයේ පොලිසියද ප්‍රකාශ කර ඇත්තේ මෙය ආගමික අපහාසයක් හේතුවෙන් සිදුකරන ලද්දැක් බවයි. මේ වන විට අනාවරණය වී ඇති ආකාරයට රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායමක් වන තහ්රික්-ඊ-ලබයික් පාකිස්ථාන් (Tehreek-e-labaik pakistan-TLP) සාමාජිකයන් මෙම සිදුවීමේදී මූලිකත්වය ගෙන තිබේ. පසුගිය මහමැතිවරණයේදී පාකිස්ථාන වත්මන් අගමැති ඉම්රාන් ඛාන් හට මෙම සංවිධානය සහයෝගය පළකිරීම සහ ඉන් අනතුරුව විශාල ලෙස සමාජගත වීම පදනම් කරගනිමින් පසුගිය මාසයේදී TLP සංවිධානයට පනවා තිබූ තහනම පාකිස්ථාන රජය විසින් ඉවත් කෙරුණු අතර එම සංවිධානයේ නායක සාඩ් රිස්විද (Saad Rizvi) ත්‍රස්තවාදී සාමාජික ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.
නමුත් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රකට ආරක්ෂක කටයුතු විශ්ලේෂකයකු වන ආචාර්ය රොහාන් ගුණරත්න විසින් මතු කරනු ලැබූ කරුණ අතිශයින් අවධානයට යොමුවිය යුත්තකි. දකුණු ආසියාව පුරාම රැඩිකල් කණ්ඩායම් ධෛර්යමත් වෙමින් සිටින බව කලාපයේ රාජ්‍ය නායකයන් ඇතුළු ආරක්ෂාව භාර ප්‍රධානීන් රැසක් හමුවේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බැව් පෙන්වා දෙනු ලැබීය. පසුගිය සතියේ සිකුරාදා (3දා) පාකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයකු ඝාතනය කිරීම සහ ඇෆ්ගනිස්ථානය තලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීම අතර යම් සබඳතාවක් පවතින බව එම සිදුවීම් දෙක අතර රේඛාවක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වන ආචාර්ය ගුණරත්න මෙම අදහස් පළකිරීම සිදුකරනු ලැබුවේ අබුඩාබිහි පැවැති ඉන්දීය සාගර සමුළුව (Indian Ocean Conference) අතරතුර ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ඔහු එහිදී පැහැදිලිවම ‘වහාබ්වාදයේ ව්‍යාප්තිය’ පිළිබඳවද අදහස් පළ කර ඇත.
‘‘ශ්‍රී ලාංකිකයන් ඝාතනය කිරීම සහ පුළුස්සා දැමීම කලාපය තුළ සලාෆි වහාබ්වාදයේ ව්‍යාප්තිය පැහැදිලි පිළිබිඹුවකි. එය පාලනය කළ යුතු හුදෙකලා කළයුතු සහ තුරන් කළ යුතු පිළිකාමය මතවාදයකි.’’ යැයි හෙතෙම අවධාරණය කර තිබේ. ඉන්දීය සාගර සමුළුවට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද පාකිස්ථානයේදී සිදුවූ සිය පුරවැසියාගේ ඝාතනය සැලසීමෙන් අනතුරුව ලැබුණු තොරතුරුද පදනම් කරගනිමින් සිය දේශනය පැවැත්වූ අතර එහිදී ‘ආගමික අන්තවාදය සහ ත්‍රස්තවාදය’ මගින් එල්ල කර ඇති තර්ජනයන්ට එරෙහිව බුද්ධි තොරතුරු බෙදාගැනීමට සහ සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා කලාපීය යාන්ත්‍රණයක් පිහිටුවීමේ වැදගත්කම අවධාරණය කළේය.
ප්‍රියන්ත දියවඩන ගේ ඝාතනය පදනම් කරගනිමින් වැඩිදුරටත් සිය සාකච්ඡාවේදී අදහස් දක්වන ආචාර්ය ගුණරත්න පෙන්වා දෙන්නේ ‘පසුගිය අගෝස්තු පහළොස්වැනිදා නැවතත් තලේබාන් සංවිධානය බලයට පැමිණීමෙන් අනතුරුව යළිත් වරක් ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානය ලෙස හිස ඔසවමින් තිබෙන අතර ඇතැම් විට ත්‍රස්තවාදී සංවිධාන විසින් ඇෆ්ගනිස්ථානය ‘නව සිරියාවක්’ බවට පත්කරනු ඇත.’ යනුවෙනි. තලේබාන්වරුන්ගේ මෙම වර්ධනය වීම ආසියාතික රටවල විශේෂයෙන් පාකිස්ථානයේ රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායම්වලට පැහැදිලි උත්තේජනයක් ලබාදී ඇතිබවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ආචාර්ය ගුණරත්නගේ මෙම විවෘත ප්‍රකාශයන්ට පදනම් වූ සියල්කොට්හිදී සිදුවූ ශ්‍රී ලාංකිකයාගේ ඝාතනය දින කිහිපයක් ඇතුළත ආසියානු කලාපයේ ත්‍රස්තවාදය පිළිබඳ සාකච්ඡාව හා ඒ පිළිබඳ අවධානය නැවතත් අවධි කර ඇත. විශේෂයෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ වී පාකිස්ථානය හරහා කලාපය තුළ නැවතත් හමා යන තලේබාන් සහ අයිඑස්අයිඑස්(ISIS) සංවිධානවල ත්‍රස්තවාදී සුළඟ පිළිබඳව නව මානයකින් උලුප්පවා දැක්වීමට විශේෂයෙන්ම ඉන්දියාවට මෙම සිදුවීම හොඳ අවස්ථාවක් ලබාදී ඇත. මෙම ඝාතනය පිළිබඳව ඉන්දියාවේ පළවන සියලුම ප්‍රධාන පුවත්සේවා විශාල ඉඩකඩක් ලබාදෙමින් තොරතුරු වාර්තා කළ අතර ඒවායේදී පැහැදිලිවම පාකිස්ථානය පදනම් කරගනිමින් ව්‍යාප්ත වන ඇෆ්ගන් ත්‍රස්ත බලපෑම පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබෙනු දැකගත හැකිය.
මේ අතර මෙම සිදුවීමට ඉන්දියාව විසන් ඉමහත් ප්‍රසිද්ධියක් ලබාදුන් අතර එය පකිස්තානය සමග පවතින දේශපාලන ආරෝවේදී ඉන්දියාව දෙසින් අයුධයක් බවට පත්ව ඇති අයුරක් පෙනෙයි. මීට වසර 13කට පෙර සිය රටට එල්ල වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය (26/11 ප්‍රහාරය) පිළිබඳ සැමරුම්ද වෙනදාට වඩා ප්‍රචාරයක් ලබාදෙමින් සිදුකරනු දැකගත හැකිය. 2008 නොවැම්බර් 26 වැනිදා ලෂ්කාර්-ඊ- තයිබා (Lashkar-e-Taiba) සංවිධානයට අයත් සන්නද්ධ ත්‍රස්තවාදී 10 දෙනෙක් ඉන්දියාවේ මූල්‍ය අගනුවර වන මුම්බායි වෙත ඇතුළු වූ අතර, එරට ඉතිහාසයේ වඩාත්ම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය මුදාහරිමින් පුද්ගලයන් 166 දෙනෙකු මරා දමමින් තවත් 300කට වැඩි පිරිසකට තුවාල සිදුකළහ. මුම්බායි හි චත්‍රපත් ශිවාජි පර්යන්තය, ඔබරෝයි ටයිඩන්ට් හෝටලය සහ ටජ්මහල් පැලස් හෝටලය යන ස්ථානවලට ත්‍රස්තයන් එදින එල්ල කළ දරුණු ප්‍රහාරය අද වනතුරුම ඉන්දියාවනුවන්ගේ සිත්තුළ හොල්මන් කරන අතර ප්‍රහාරය අතරතුර ක්‍රියාන්විතයේදී මියගිය මුම්බායි ත්‍රස්ත විරෝධී බළකායේ (ATS) ප්‍රධානී හේමන්ත් කර්කරේ (Hemant Karkare) ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන් ජාතික වීරයන් සේ සලකති. සියල්කොට්හිදී ප්‍රියන්තව ඝාතනය කිරීමට පෙර ඔහුව බේරා හරින ලෙස ඝාතනයන්ට ආයාචනා කළ මලික් අඩ්තාන් නමැති පාකිස්ථානුවාට අගමැති ඉම්රාන් ඛාන් විසින් එරට රජය විසින් පිරිනමන නර්භීතභාවය සඳහා වන ඉහළම සම්මානයක් වන ටම්හා ඊ ෂුජාට් (Tamgha i Shujat) පිරිනැමීමට තීරණය කිරීමට අදාළ ප්‍රවෘත්තියට කලාපයේ විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර ඊට සමගාමීව මුම්බායි ප්‍රහාරයේදී මරණයට පත්වූ හේමන්ත් කර්කරේ හට පිරිනැමුණු ඉන්දියාවේ ඉහළම සාමය සහ වීරත්වය වෙනුවෙන් වූ සම්මානය වන ‘අශෝක චක්‍ර’ (Ashoka Chakra) පිළිබඳවද පසුගිය දින කිහිපයේදී ඉන්දීය ජනමාධ්‍ය සිහිපත්කර තිබෙනු දැකගත හැකිවිය.
ආචාර්ය ගුණරත්න මෙන්ම ඉන්දියාවද මෙලෙස මුම්බායි ප්‍රහාරය ඉස්මතු කරමින් මේ මොහොතේ කලාපයේ අවධානය යොමුකරමින් සිටින්නේ ප්‍රියන්ත දියවඩන ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ටෙහ්රික් ඊ - ලබයික් (TLP) සංවිධානය සහ මුම්බායි ප්‍රහාරය දියත් කළ ලෂ්කාර් ඊ තයිබා (Lashkar i Taiba) යන සංවිධාන දෙකම මෑත කාලීනව එකිනෙකට ඉතාම සමීපව පාකිස්ථානය තුළ ක්‍රියාත්මක වීම හේතුවෙනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ අන්ත දක්ෂිණාංශික මූලධර්මවාදී කණ්ඩායමක් වන TLP විසින් රට තුළ රැඳී සිටින විදේශික රාජ්‍ය තාන්ත්‍රිකයන්ට බලපෑම් කළ හැකි තරමටම ශක්තිමත්ව සිටින සංවිධානයක් බවට පත්ව සිටීමයි. පසුගිය වසරේ ප්‍රංශයේදී ප්‍රකාශයට පත්කෙරුණු මුහම්මද් නබිතුමාගේ රුව රැගත් කාටුනයක් පදනම් කරගනිමින් TLP විසින් පාකිස්ථානය තුළ දැවැන්ත විරෝධතාවක් සංවිධානය කළ අතර පාකිස්ථානයේ රැඳී සිටින ප්‍රංශ තානාපතිවරයා රටින් නෙරපා හැරිය යුතු බවට වන යෝජනාවක් පවා එරට පාර්ලිමේන්තුවට රැගෙන ඒමට සමත් විය.
පකිස්තාන රජය මෙම සංවිධානවල බලපෑමට නතුව ඇති වගට ආසන්නතම උදාහරණය වන්නේ පාකිස්ථාන ආරක්ෂක ඇමැති පර්වේස් ඛට්ටක් (Perrez Khattak) විසින් ප්‍රියන්තගේ ඝාතනය සාධාරණීකරණය කිරීමට දරා ඇති උත්සාහයයි. ඔහුගේ ‘අමුතු සාධාරණීකරණයට’ අනුව තරුණයන් උද්‍යෝගිමත් වූ විට ඝාතන සිදුවේ. එම නිසා මෙම සියල්කොට්හි සිදුවූ මෙම ඝාතනය සහ මෑතකදී ඉම්රාන් ඛාන් රජය විසින් TLP සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීම එකිනෙකට සම්බන්ධ කිරීමට උත්සාහ නොදැරිය යුතු බව ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.
‘ඉස්ලාමීය ඇදහිල්ලෙන් බලපෑමට ලක්වූ තරුණයන් සහ වැඩිහිටියන් යන දෙඅංශයේම මිනිසුන් එහි සිටියා. කලබල වී ඔවුන් උද්‍යෝගිමත්ව ක්‍රියාකර තිබෙනවා. මෙය යම්දෙයකට ප්‍රතිචාරයක් බව කිව නොහැකියි. සෑම කෙනෙකුටම තමන්ගේම වූ සිතීමේ ක්‍රමයක් ඇත. ඔවුන් එය අපහාසයක් යැයි කියමින් සටන් පාඨ කියා තිබෙනවා. ඔවුන් කෝපයට පත්වී ඔහුව ඝාතනය කළා. මෙයින් අදහස් වන්නේ සමාජ දේහය බිඳී ගොස් ඇති බවක් නොවෙයි.’
$ads={2}
TLPහි අනුග්‍රහය ලබන බවට විපක්ෂය ප්‍රසිද්ධියේ චෝදනා කරන ආරක්ෂක ඇමැතිවරයාගේ මෙම ප්‍රකාශය මගින් පකිස්ථාන රජය ප්‍රියන්තගේ ඝාතනය සම්බන්ධයෙන් දරන සැබෑ මතවාදය සහ ත්‍රස්ත සංවිධානවල මතවාදවලින් පිටු බලය ලබන පාකිස්ථාන ඇමැතිවරුන්ගේ සැබෑ ස්වරූපය හඳුනාගත හැකිය. අනෙක් අතට මෙවැනි ‘තරුණ උද්‍යෝගය’ හේතුවෙන් සිදුකෙරෙන ‘මැර ඝාතන’ සාධාරණීකරණය කිරීමට පාකිස්ථානයට ව්‍යවස්ථාගත කරන ලද නීති පද්ධතියක්ද පවතින බැවින් රජයට බොහෝ විට මෙම ඝාතනයේ වගකීමෙන් නීත්‍යානුකූලවම ගැලවීමට අවස්ථාවක් පවතී. දේව අපහාසය (Blasphemy) පාකිස්ථානය තුළ මරණීය දණ්ඩනය පැනවිය හැකි වරදක් වන අතර පාකිස්ථානයේදී බොහෝ විට එම චෝදනාව ලබන්නවුන් අධිකරණයෙන්ද අනිවාර්යෙන්ම වරදකරු බවට පත්වන තරමටම එරට සමාජය තුළ දේවභක්තිය ශක්තිමත්ව පවතී. එසේම TLP වැනි සංවිධානවල අනුක්‍රමික බලවත්වීම සහ පසුගිය අගෝස්තු මාසයේ සිට යාබද ඇෆ්ගනිස්ථානයෙන් හමා එන තලේබාන් සුළඟ හමුවේ ‘දේව අපහාස චෝදනාව’ අදවන විට රටේ බහුතර ජනගහනයක් දක්වාද අභ්‍යන්තරීකරණය වී තිබේ. එම නිසා ශ්‍රී ලංකාවට සම්බන්ධ, ඒ හරහා කලාපය තුළම නැවත විශාල සාකච්ඡාවක් නිර්මාණය කෙරෙමින් පවතින අතර එවන් පසුබිමක මෙම ප්‍රියන්ත දියවඩන ඝාතනයට සාධාරණ නඩු විභාගයක් පැවැත්වේදැයි යන්න පිළිබඳව පැහැදිලි සැකයක් යම් පාර්ශවයක් නගන්නේ නම් එහි පදනමක් නැත්තේ නොවේ.
අනෙක් අතට මෙම ඝාතනය වාර්තාවන සියල්කොට් යනු පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ඇෆ්ගනිස්ථානයට වඩාත්ම සමීප දිස්ත්රික්කයකි. එම නිසාම තලේබාන් සහ ISIS ත්‍රස්ත සංවිධාන වල අනුග්‍රහය ලබන TLP හෝ ලෂ්කාර් ඊ තයිබා වැනි ප්‍රචණ්ඩකාරී සංවිධානවල ක්‍රියාකාරකම් වලට සියල්කොට් තෝතැන්නක් වී ඇත. මේ වන විටත් ඇෆ්ගනිස්ථානයේ ස්ථාපිත තලේබාන් පාලනය පිළිගැනීමට කටයුතු කර ඇති එකම රට වන පාකිස්ථානය විසින් සිය රට තුලට තලේබාන් ක්‍රියාකාරකම් ව්‍යාප්තවීමට ඉඩහැර ඇති බවට මේ වන විටත් අන්තර්ජාතික ප්‍රජාව වෙතින් චෝදනා එල්ලවී තිබේ. ඒ අනුව ඇෆ්ගනිස්ථානය අනුව යමින් පාකිස්තානයේද වර්ධනය වන මෙම ආගමික පදනමකින් සමන්විත තලේබාන් හෝ ISIS පන්නයේ රැඩිකල් සංවිධානවල ක්‍රමික වර්ධනය සැලකිවයුතු වේගයකින් ආසියානු කලාපය තුළ ව්‍යාප්ත වීම විශේෂයෙන් දකුණු ආසියානු රටවල භූ-දේශපාලනික අවබෝධාත්මක තුලනයට කිසිසේත්ම යහපත් වන්නේ නැත. අනෙක් අතට මෙම අර්බුදය කළමනාකරණයට ඉන්දියාව පෙරට වඩා මැදිහත්වීම යාබද පාකිස්ථානය සමග නව අර්බුදයකට මුලපිරීමක් පමණක් නොවන අතර, වසංගතය මධ්‍යයේ අසීරුතාවන්ට මුහුණදී සිටින ශ්‍රී ලංකාව වැනි කලාපයේ කුඩා ආර්ථිකයන් හිමි රටවලට කිසිසේත්ම සුබදායක කරුණක් වන්නේද නැත.
-නයන තරංග ගමගේ