මහ සෙනඟ අතරේ ප්‍රියන්තට සමුදෙන්න මවත් ඇවිත් - ‘අනේ මගේ සිඟිති’ අසූ හැවිරිදි මවගේ විලාපයෙන් ගණේමුල්ලම කම්පාවෙයි


පාකිස්තානයේ සේවයට ගිය ප්‍රියන්ත දියවඩනගේ ඊයේ (07 වැනිදා) අලුයම නිවසට පැමිණියේ තනියම නොවේ. ආරක්ෂක රැකවල්, බොහෝ දෙනකුගේ සෝසුම් මැද මුද්‍රා තැබූ පෙට්ටියකින් තමන්ට නිවසට එන්නට සිදු වෙතැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත. ගණේමුල්ල, පොකුණ හන්දිය ප්‍රදේශයම එක යායට සුදු කොඩිවලින් සරසා තිබුණි. ඔහුට අවසන් ගෞරවය දක්වන්නට ගණේමුල්ල, පොකුණ හන්දිය පිහිටි ප්‍රියන්තගේ නිවසට විශාල පිරිසක් ඊයේ අලුයම් කාලයේ සිට පැමිණෙන්නට විය.

ප්‍රියන්ත දියවඩනගේ මෑණියන් වන මිලී නෝනා දින කිහිපයක් පුරා සිතා සිටියේ තම බාල පුතණුවන් මියගොස් ඇත්තේ කොරෝනා රෝගය වැලඳීමෙන් කියාය. තවත් විටෙක ඇයට දියණියක පවසා තිබුණේ ප්‍රියන්ත පඩිපෙලකින් වැටී මියගොස් ඇති බවය. තම දරුවන් විටින් විට විවිධ කතා ගොතනා බව දැනගත් මිලී නෝනා මෑණියන් නිරන්තරයෙන් උත්සාහ ගෙන ඇත්තේ රූපවාහිනී පුවත් මගින් හෝ යම්කිසි සත්‍ය තොරතුරක් දැනගැනීමටය.එහෙයින් ඇයට මෙම දින කිහිපය තුළ කිසිදු පුවතක් නොපෙන්වීමට දරුවෝ වගබලාගත්හ. නමුත් එක් මොහොතක නිවසේ සිටි කුඩා දියණියක ලවා රාත්‍රි පුවත් නැරැඹීමට රූපවාහිනීය ක්‍රියාත්මක කර ගත් ඇය දුටුවේ පාකිස්තානයේ මිලේච්ඡයන් පිරිසක් අතින් කුරිරු ලෙස ඝාතනය වූ තම සිඟිති පුතුගේ ඛේදවාචකය පිළිබඳ පුවතයි. එතැන් සිට 80 හැවිරිදි ඇය වැලහින්නියක සේ හඬා වැලපුණි.

මිලී නෝනා දියණියන් දෙදෙනකුගේ වාරුවෙන් ඇයගේ පුතුගේ අවමඟුලට ඊයේ පැමිණියේය. නමුත් ඇයට තම පුතුගේ දේහයක් දකින්නට තිබුණේ නැත. සීල් කරන ලද මිනී පෙට්ටිය අසලට යන්නටත් මත්තෙන් මහ හඬින් විලාප තියමින් ‘’අනේ.. මගේ සිඟිතී...’’ යන්න පමණක් පැවසූ ඇය සිහිසුන්ව ඇද වැටුණාය. මියගිය ප්‍රියන්තගේ සමීපතමයන් පවසන පරිදි මෑණියන් බෙහෙවින්ම ඇලුම් කළ පුතණුවන් ප්‍රියන්තය. රජෙක් වගේ සිටි තම සිඟිති පුතුගේ වියෝව දරාගත නොහැකිව ඇය වරින් වර සිහිසුන් වූවාය. ඇයගේ මුවින් නැගුණු වචන කිහිපය ‘‘අනේ මගේ සිඟිතී’’ යන්න පමණි.

ප්‍රියන්තගේ දේහය ලැබෙන තෙක් නිවෙසේ සුසුම්ලමින් සිටි ඔහුගේ ආදරණීයයන්ගේ කඳුළු යළිත් අලුත් වූයේ දේහය නිවසට රැගෙන ආ පසුවය. නමුත් ඒ වන විට ඔහුගේ ආදරණීය බිරිඳගේ දෑසේ නම් එකඳු කඳුළු බිඳුවක්වත් ඉතිරි වී නොතිබුණි. ප්‍රියන්තගේ වැඩිමහල් සහෝදරයා වන වසන්ත කුමාර මෙරටට පැමිණියේ දේහය නිවෙසට ගෙන ඒමට හෝරා කිහිපයකට පෙරය. ‘‘මල්ලි වෙනුවෙන් දහදෙනෙක් නැගී හිටියනම් අද එයා ජීවිතුන් අතර.’’ ඔහු සුසුම්ලමින් පවසයි. ප්‍රියන්තට සිදු වූ ඛේදවාචකය මුලින්ම සැල වූයේ වසන්ත කුමාරටය. ඔහු එම සිදුවීම විස්තර කළේ මෙසේය.

‘‘මට ලාහෝර්වල ඉන්න මගේ යාළුවෙක් කතා කරලා කිව්වා මල්ලි එක්ක ෆැක්ටරියේ අය කලබලයක් ඇති කරගෙන තියෙනවා පොඩ්ඩක් බලන්න කියලා. පස්සේ මම මල්ලිගේ ෆැක්ටරියට කතා කළා. එවෙලේ ඇමතුම ගත්තේ ෆැක්ටරියේ අයිතිකාරයාගේ මල්ලි. එතකොට ඔහු මට කිව්වේ මල්ලිට හදිසි අනතුරක් වෙලා රෝහලට ගෙන ගියා කියලා. පෝස්ටර් සිදුවීම ගැනත් එවෙලේ ඔහු මට කිව්වා. ඔහු කිව්වේ එදා උදේ පෝස්ටර් ගලවලා සිද්ධියක් වුණා. ඒත් එයා ඒක සමථයකට පත් කළා මල්ලි ඒ වෙනුවෙන් සමාවත් ගත්තා කියලා. මල්ලි සේවකයෙක්ට ගලවන්න කියලා තියෙන්නේ කුරාණේ වදන් තිබුණ පෝස්ටරයක් නෙවේ. ෆැක්ටරියේ සති ගාණකට කලින් තිබුණ උත්සවයක් ගැන සේවකයෝ දැනුවත් කරන්න ගහලා තිබුණ පෝස්ටරයක්’’

වසන්ත පවසන පරිදි සේවය හරිහැටි ඉටු නොකරන ලද සේවකයන් කිහිපදෙනකු ප්‍රියන්ත විසින් මාස කිහිපයකට ඉහතදී සේවයෙන් පහකර ඇත. පිරිසිදු කිරීම් සම්බන්ධ සුපරීක්ෂක ප්‍රියන්තට පහර දීම සඳහා යොදාගෙන ඇත්තේ එම සේවයෙන් පහකළ පුද්ගලයන් බව හා එම පිරිස දහතුනක් බව ඊයේ සමාගම් ප්‍රධානියා විසින් වසන්තට දුරකථන ඇමතුමකින් පවසා ඇත. එම සේවකයන් දහතුන්දෙනාම මේ වනවිට අත්අඩංගුවේ පසුවේ. වසන්ත කුමාර මහතා සේවය කරනු ලබන්නේ කරච්චිහි පිහිටි රෙදිපිළි කර්මාන්තශාලාවක වන අතර කරච්චි සිට සියල්කොට් නගරයට දුර කිලෝ මීටර් 1500කටත් අධිකය. සිදුවීම සැලවූ මොහොතේම වසන්ත තම මලනුවන්ගේ කර්මාන්තශාලාවට යාමට තැනුවද ඔහුගේ මිතුරන් සහ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඔහුට යාමට නොදී ඇත්තේ වසන්ත ගියහොත් තවත් කලබලයක් ඇතිවේවි යැයි සැකයෙනි.

$ads={2}

ප්‍රියන්තගේ දේහ කොටස් පිළිබඳව මීගමුව රෝහලේදී පසුගිය 06 වැනිදා සිට ඊයේ අලුයම දක්වා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ හිසට හා පපුවට සිදු වූ බරපතළ තුවාල හා තදබල පිලිස්සීම් හේතුවෙන් සිදුවූ මරණයක් බවට සඳහන් කර තිබුණි. මුහුණ හඳුනා ගැනීමට නොහැකි බැවින් සිරුරෙන් ලබාගත් කොටස් මගින් ඩී.එන්.ඒ පරීක්ෂණයක් කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් නියම කර තිබුණි. අස්ති කූඩුවේ ඇට කැබලි බොහෝමයක් කැඩී බිඳී ගොස් තිබුණු බවත් මුළු අස්ති කූඩුවම එක්ස් රේ පරීක්ෂණයකට ලක් කළ බවද වෛද්‍යවරුන් සඳහන් කළේය. මීගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය නිමවීමෙන් පසු දේහ කොටස් ළඟම ඥාතීන්ට භාර දෙන ලස පොලීසියට නියම කළේය. ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී සමග තවත් අධිකරණ වෛද්‍ය නිලධාරියකු මෙම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා එක්වී සිටියහ.

ඊයේ (07 වැනිදා) ප්‍රියන්තගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කාදිනල් හිමිපාණන්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වැනි අමාත්‍යවරුන් හා ආගමික පූජකවරුන් රැසක් සහභාගී විය.

Post a Comment (0)
Previous Post Next Post