විදුලිය බිඳ වැටීම ගැන ලංවිම ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරුවන් කරන හෙළිදරව්ව


පසුගිය දා සිදුවූ විදුලි බිඳ වැටීම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරු සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, කිසිදු තාක්ෂණික හේතුවකින් තොරව ආසන්න දින දෙකකදී විදුලිය බිඳ වැටීම සැලසුම්සහගත ක්‍රියාවක් බව තම ස්ථාවරය බව ය.

එමෙන් ම, විදුලිය බිඳ වැටුණු පසු, ජාල පද්ධතියේ අදාළ උපකරණවල දත්ත මකා දැමීමට ද පිරිසක් උත්සහ දරා ඇති බව එම සංගමය පෙන්වා දී තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ, විදුලිය බිඳ වැටුණු වහා ම අදාළ දත්ත මකා දැමීමට උත්සහ කළේ, එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ක්‍රියාවක් බවට ඔප්පු වන සාක්ෂි වසන් කිරීම සඳහා වන බවට සැකයක් මතුව ඇති බව ය.

ඒ අනුව, තම සංගමය විදුලිය බිඳ වැටීම පිළිබඳව සත්‍ය හෙළි කිරීම සඳහා කඩිනම් හා සාධාරණ පරීක්ෂණයක් කරන ලස රජයට ත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ත් දන්වා ඇති බව ලංවිම ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරු සංගමය අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

අදාළ නිවේදනය මගින් ඔවුන් තව දුරටත් පෙන්වා දෙන්නේ, විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සඳහා පියවර ගත් ලංවිම වත්මන් සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා මේ වන විට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ය

ඊට විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකුගේ ද සහය ලැබී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

ලංවිම ජ්‍යෙෂ්ඨ විදුලි ඉන්ජිනේරු සංගමය සඳහන් කරන්නේ, විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු මකා දැමීම සඳහා කළ කුමන්ත්‍රණයට එරෙහිව වත්මන් සාමාන්‍යාධිකාරීවරයා ක්‍රියා කළ බව ත් ඔහු ඉවත් කර එම පරීක්ෂණ යට ගැසීමේ අරමුණක් ඇති බව ත් ය.  

$ads={2}

ඒ හේතුවෙන්, වත්මන් සාමාන්‍යාධිකාරීවරයාගේ සේවය තවදුරට ත් අත්‍යවශ්‍ය බව ඔවුන් සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, විදුලිය සැපයුම බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කරන චෝදනාව කිසිසේත් පිළිනොගන්නා බව ලංවිම විදුලි ඉන්ජිනේරු වෘත්තීය සමිති සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා දෙසැ. 3 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 

ඔහු ප්‍රකාශ කළේ, දෝෂය ඇතිවූයේ ස්වයංක්‍රීය පද්ධතියක හෙයින් විදුලිය බිඳ වැටීම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබා ගත හැකි බව ය.

අදාළ සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලි ඉන්ජිනේරුවරුන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද පසෙක තබා සේවය ලබා දුන් බව ඔහු පෙන්වා දුන්නේ ය.

Post a Comment (0)
Previous Post Next Post