ඇසිඩ් ගැහුවේ ගෙදර යන්න බෑ කියූ තරහට
බොහෝ පවුල් ආරවුල්වලට හේතුවී ඇත්තේ සැකය, තේරුම්ගැනීමේ නොහැකියාව බව ලෝකය පුරා කරන ලද සමීක්ෂණ රැසකින්ම හෙළිවූ කාරණයකි. විශේෂයෙන් සැකය ප්‍රධාන වශයෙන් පවුල් ආරවුල් අතරින් සියයට අනූවකටම හේතුවී ඇත. අප රට තුළද පොලිසි උසාවි ගානේ ගොඩගැසී ඇති බහුතර පවුල් ප්‍රශ්නද ඒ ආකාරයේ හේතුන් හා බැඳුනු ප්‍රශ්න වේ. වාර්තා වන අන්දමට මේ දික්කසාද නඩු අතරින් දහස් ගණනක්ම වයස අවුරුදු 18 ත් 25ත් අතර වයසේ විවාහ වූවන්ගේය.
මේ කියන්නට යන්නේ දික්කසාද ගැන නොවූවත් මෙයට දික්කසාද ඉල්ලීමක් සම්බන්ධ කරගැනීමට සිදුවන්නේ පෙරේදා (29 වැනිදා) නැගෙනහිර කොළඹ මූලික රෝහලෙන් වාර්තා වූ නිරන්තරයෙන් අසන්නට නොලැබෙන සාපරාධී ක්‍රියාවක් නිසාය. මේ සිදුවීම සැකය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හා ක්ෂණික කෝපය මත සිදුවූවක් බව බැලූ බැල්මටම පැහැදිලිය.
නැගෙනහිර කොළඹ මූලික රෝහල නැතහොත් මුල්ලේරියාව මූලික රෝහලේ ගේට්ටුවේ සිටියේ සුපුරුදු ආරක්ෂකයින්ය. සාමාන්‍ය පරිදි පෙරේදා සවස 05.45ට රෝගීන් ගෙන එන සහ ප්‍රතිකාර ලබා පිටව යන රෝගීන් ගෙන යන පෞද්ගලික වාහන හා කුලී රථ රෝහල් ගේට්ටුවෙන් එහා මෙහා ගියේය. ඒ ආකාරයට කුලී ත්‍රීරෝද රථයක නැග ආ තරුණයෙකු රෝහල් ආරක්ෂකයකුට කියා සිටියේ 'වයිෆ් ඇඩ්මිට් කරලා හිටියේ. එයා ඩිස්චාජ් කරල ඉන්නේ එක්කන් එන්න යන්නේ' කියාය. සැකයක් නොමැති හෙයින් එම වාහනය රෝහල තුළට ගෙන යෑමට රෝහල් ආරක්ෂකයින් අවසර දී තිබිණි.
මෙම තරුණයා රෝහලේ වාට්ටු අංක 04 සඳහා යන ස්ථානයටම ත්‍රිරෝද රථයෙන් ගියේය. ත්‍රිරෝද රියෙන් බැස කෑනයක් වැනි යමක් අතට ගෙන ඔහු රෝහලේ වාට්ටු අංක 04 වෙත ගියේ පැමිණි ත්‍රිරෝද රථ රියැදුරුට සැක සිතෙන අයුරිනි. බාධාවකින් තොරව රෝහලේ නාරිවේද ඒකකය වන වාට්ටු අංක 04ට ගිය ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තෙමස් ගැබිනියක වන 20 හැවිරිදි බිරිඳ අතින් ඇදගෙන වාට්ටුවෙන් පිටතට පැමිණියේ වෛද්‍ය රසායනාගාරය අසලටය.
'මේ ගෑනියේ තෝ මගෙත් එක්ක ගෙදරට එනවද නැද්ද කියපං' යැයි කියමින් තරුණයා හැසිර ඇත්තේ කලබලකාරී ලෙසය. පසුව ඔහු අතෙහි වූ දියරය බිරිඳගේ මුහුණට ගසා තිබේ. එය දුටු රෝහලේ සේවකයෙකුත්, තරුණයා පැමිණි ත්‍රිරෝද රියේ රියැදුරුත් එතැනට පැමිණ ඇත්තේ කුමක්දැයි නොදැනය. එහි ඇත්තේ ඇසිඩ් බව තරුණයා හැර සෙසු තිදෙනාම දැනගෙන ඇත්තේ දියරය තැවැරී පිලිස්සුම් තුවාල වීමත් සමගය.
ඇසිඩ් ප්‍රහාරයෙන් ගැබිනි කාන්තාවගේ මුහුණ ප්‍රදේශය සහ දෑස් වලට හානි සිදුව තිබුණි. රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයාත් ත්‍රිරෝද රථ රියැදුරුත් මෙන්ම ඇසිඩ් ගැසූ තරුණයාත් මුල්ලේරියාව රෝහල වෙතම ඇතුළත් කරනු ලැබීය. ඒ ඇසිඩ් ප්‍රහාරය එල්ල කිරීමේදී ඔවුන් පොරබදා ඇති හෙයිනි. රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න රෝහල් පොලිසිය මාර්ගයෙන් මේ පිළිබද මුල්ලේරියාව පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.
මුල්ලේරියාව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මිගාර මායාදුන්න ඇතුළු නිලධාරීන් පිරිසක් කඩිනමින් රෝහලට පැමිණ විමර්ශන ආරම්භ කළහ. ඇසිඩ් ගසා තම බිරිඳ ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනාව මත තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු වැල්ලම්පිටිය කුඩාබුත්ගමුව පදිංචි දිනුර කෞෂාල් නම් 23 හැවිරිදි තරුණයෙකි. ඔහු සිය පෙම්වතිය වූ 20 හැවිරිදි තරුණියක හා විවාහ වී ඇත්තේ මීට වසරකට පෙරය.
තරුණයාගේ පියාට අයත් නිවෙසක මෙම යුවළ පදිංචි වී සිට ඇති අතර මෙම තරුණයා මත්ද්‍රව්‍ය සඳහා දැඩිව ඇබ්බැහි වූ තරුණයෙකු බව පොලිසිය සඳහන් කරයි. මොහු අවස්ථා දෙකකදී පුනරුත්ථාපනයට ලක්වූවෙක් වන අතර මොහු හා බිරිඳ අතර නිරන්තරයෙන්ම ගැටුම් ඇතිව තිබේ. බිරිඳ පිළිබඳ සැක කර ඔහු ඇයට පහරදීම්ද කර තිබේ.
ඇය පසුගිය 17 වැනිදා මුල්ලේරියාව මූලික රෝහල වෙත ඇතුළත් කර තිබුණේ සැමියාගේ පහරකෑමකට ලක්වය. ඇය මාපියන්ටත් වෛද්‍යවරුන්ටත් රෝහලේ හෙද කාර්ය මණ්ඩලයටත් කියා ඇත්තේ මොහු හා නැවත ජීවත් විය නොහැකි බවය. සැමියාද සමාව ඉල්ලා සිටියත් ඇය ඔහු හා නැවත නිවසට යාමට කැමති වී නැත. තරුණයා වැල්ලම්පිටියේ සබන් නිෂ්පාදන කර්මාන්තශාලාවක සබන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ඇසිඩ් වර්ගයක් හිතවතෙකු මාර්ගයෙන් ලබාගෙන ඇත්තේ බිරිඳ තමා හා නොඑන්නේ නම් ඇයට ඇසිඩ් ගසා විකෘති කිරීමේ චේතනාවෙනි.
$ads={2}
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මේ පිළිබඳව දැක්වූයේ මෙවන් අදහසකි.
'මෙම ගැබිනි කාන්තාව පහුගිය 17 වැනිදා රෝහලට ඇතුළත් කරල තිබුණේ සැමියාගෙන් වූ පහරකෑමක් නිසයි. ඇය දැඩි මානසික හා ශාරීරික පීඩනයක් මත සිටින බවට රෝහලේ වෛද්‍යවරුන්ට පැමිණිළි කර තිබුණා. පෙරේදා සිදුවූ සිද්ධියෙන් ඇයගේ මුහුණ ප්‍රදේශයට හානි වී තිබුණා. ඒ වගේම සැමියාත් ඇසිඩ් තැවරී තුවාල වෙලා තිබුණා. තවත් දෙදෙනෙකුත් තුවාල ලබල රෝහල වෙත ඇතුළත් කර තිබුණා. මේ ඇසිඩ් විශේෂය ඇස්වලට අහිතකර අම්ලයක්. ඇය පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.'