12 හැවිරිදි දැරියකගේ සිරුර පාළු නිවෙසක... කලලය විනාශ කිරීමට සිදු කළ ඝාතනයක්දැයි සැකයක්


පුදුකුඩුඉරිප්පු මූංගිලාරු ප්‍රදේශයේ පාළු නිවසකින් පෙරේදා (18 වැනිදා) සොයාගත් 12 හැවිරිදි දැරියගේ මරණය ගර්භාෂයේ කලලය විනාශ කිරීමේ අරමුණින් සිදුකළ ඝාතනයක් බව පුදුකුඩුඉරිප්පු පොලිසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට දැරියගේ ඥාතියකු පුදුකුඩුඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මළසිරුර සම්බන්ධයෙන් මුලතිව් මාංචෝලෙයි රෝහලේදී ඊයේ (19 වැනිදා) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරියගේ යෝනි මාර්ගයෙන් මොට ඝන ද්‍රව්‍යක් ඇතුළු කිරීමෙන් වූ අධික රුධිර වහනය මරණයට හේතුවී ඇති බව අනාවරණය වී තිබේ. වෙනත් බාහිර තුවාල කිසිවක් සිදුව නැති බවද මරණ පරීක්ෂණය මගින් අනාවරණය වී තිබේ.

දැරිය කිසිවකු අතින් අපයෝජනයට ලක්ව ඇයගේ කුසෙහි දරුවකු සිටින බව සිතමින් ගර්භාෂයට හානි කර කලලය විනාශ කිරීමේ අරමුණින් මෙම අපරාධය සිදුකර ඇතැයි සැකකරන බවද පොලිසිය සඳහන් කරයි.

මුංගිලාරු උතුර ගම්මානයේ පදිංචි යෝගරාසා නිදර්ශනා නමැති මෙම දැරිය පසුගිය 15 වැනිදා සිට අතුරුදන් බවට දැරියගේ නිවැසියන් විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව පොලිසිය, ගම්වාසීන් හා යුද හමුදාව පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කළහ.

දැරියගේ නිවසට මීටර් සියයක් ඈතින් පිහිටි පාළු නිවසක්ද පොලිසිය විසින් 16 හා 17 දෙදිනම පරීක්ෂා කර බැලුවත් එම නිවසේ කිසිවක් හමුවූයේ නැත. එවන් තත්ත්වයක් මැද ඊයේ 18 වැනිදා එම නිවස සෝදිසි කිරීමේදී අතුරුදන් වූ දැරියගේ මළසිරුර සොයාගත් අතර ඇයගේ එක් අතක කොටසක්ද විනාශ වී තිබිණි. දැරිය ඝාතනය කළ පුද්ගලයා 17 වැනිදා රාත්‍රියේදී හෝ 18 වැනිදා අලුයම් කාලයේදී සිරුර මෙම පාළු නිවසට ගෙන දමන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය සඳහන් කරයි.

2015 මැයි 13 වැනිදා යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී ශිවයෝගනාදන් විද්‍යා දැරියද ඝාතනයට ලක්ව තිබුණේ මේ ආකාරයෙනි.

$ads={2}

මෙම ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර ඇතුළු නිලධාරීහු පිරිසක් අද (20 වැනිදා) මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයට පැමිණෙති.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් හමුවීමද මෙම සංචාරයේ තවත් අරමුණකි.

Post a Comment (0)
Previous Post Next Post