ගෘහ සේවයට ඩුබායි ගිය කාන්තාවන් 200ක් නිවසක හිරකරලා..කන්න දෙන්නෙ පරිප්පුයි බතුයි

වැසිකිළියකට යන්න දෙන්නෙ විනාඩි කිහිපයයි
එයාලා ගැන කාටවත් කියන්න තහනම්

සංචාරක වීසා මත ඩුබායි වෙත ගෘහ සේවය සඳහා රැගෙන ගිය කාන්තාවන් දෙසීයකට අධික පිරිසක් එරට නිවසක කාමරවල සිරවී සිටින බව එම ස්ථානයෙන් මිදී මෙරටට පැමිණි කාන්තාවක් සඳහන් කළාය.

දඹුල්ල, සුමංගලපුර ප්‍රදේශයේ පදිංචි ඉෂාරා කල්හාරි මහත්මිය තමන් අත්විඳි සිද්ධින් පිළිබඳ එලෙස හෙළිදරව් කළාය.

මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේේ ලියාපදිංචි වී ඇති විදේශ සේවා නියෝජිත ආයතන හරහා ඩුබායිහි ගෘහ සේවය සඳහා කාන්තාවන් විශාල පිරිසක් මේ දිනවල යවන බවත් ඒ සෑම අයකුම සංචාරක වීසාවලට ගොස් එරට නියෝජිත ආයතනයක රඳවාගෙන රැකියාවලට යොමුකරන බවත් ඇය කීවාය.

මෙසේ ගෘහ සේවය සඳහා රැගෙන යන කාන්තාවන්ට මාස කිහිපයක් ගත වනතුරු එම ස්ථානවල රැඳීසිට විවිධ දුක් කම්කටොලු විඳීමට සිදු වී තිබෙන බවත් එහි රැඳී සිටින මෙරට රැකියා උප නියෝජිත කණ්ඩායම් විසින් එම කාන්තාවන්ට විවිධ හිරිහැර හා කරදර සිදු කරමින් ආහාර පවා සීමා කරන බව ද ඉෂාරා පැවසුවාය.

ඩුබායිහි රඳවාගෙන සිටිය දී තමන් සියසින් දුටු දේ ඇය මෙසේ විස්තර කළාය.

‘මම කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකට ගිහිල්ලා පාස්පෝට් සියල්ල භාර දීලා තමයි රට යන්න සූදානම් වුණේ. මට මාසයකට සංචාරක වීසා ගහලා දුන්නා ඩුබායි යන්න. අපි ඒ රටට ගිහිල්ලා ඉන්නකොට ගුවන්තොටුපොළට මහත්තයෙක් ඇවිත් අපිව අරන් ගියා. අරන් ගියපු තැනට ඇතුළු වෙනකොටම අපේ ජංගම දුරකථන ඔක්කොම ඒ අය ගන්නවා. පස්සේ පුංචි කාමරයක දාලා කවුරු හරි අපිව ගන්න අවාම හිනාවෙලා ඉන්න කියලා කියනවා. ගෙදරින් එන ඇමතුමක්වත් අපට ගන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. කලාතුරකින් අපිට ඇමතුමක් ගන්න ඕනෑ කිව්වාම ස්පිකර් දාලා කතා කරන්න ඕනෑ, එයාගේ අඩුපාඩු, එතැන සිද්ධීන් කිසිවක් කියන්න තහනම් කරලා තමයි තියෙන්නෙ. එතැන කාන්තාවෝ විශාල පිරිසක් ඉන්නවා රස්සාවකට යන්න බැරුව.

හැමදාම වගේ ඒ රටේ බාබලා එතනට එනවා. ඊට පස්සෙ අපි එක් එක්කෙනා එයාලට පෙන්වනවා, ගාණ කතා කරනවා. අපට කියනවා හිනාවෙලා ඒ අයට මූණ දෙන්න කියලා. බැරිවෙලාවත් අපි මුහුණ අසතුටෙන් හිටියොත් හොඳටම බනිනවා. විනාඩි කිහිපයයි වැසිකිළියකට යන්න දෙන්නෙ. පරිප්පුයි බතුයි තමයි කන්න දෙන්නෙ. බිම තමයි නිදාගන්න තියෙන්නේ. අපි හරියට හිරකාරයෝ වගේ පුදුමාකාර දුකක් විඳින්නේ. එතැන ඉන්න හැමෝම ඒ වගේ තමයි.

මාසෙක සංචාරක වීසා නිකුත් කරලා ඒ රටේ අපිව භාර ගන්න කවුරු හරි බබා කෙනෙක් හිටියොත් තමයි අවුරුදු දෙකක ගෘහ සේවය සඳහා වීසා නිකුත් කරනවා කියන්නේ. මට කන්න බොන්න නැතුව ගොඩක් අමාරු වුණා. මම ලංකාවේ රැකියා ආයතනයට කතා කරලා කිව්වා ගොඩක් අමාරුයි කියලා. දිගටම බඩගින්නෙ ඉඳලා ලේ වමනෙ පවා ගියා, ඊට පස්සේ මාව නැවත ගෙන්න ගත්තා. එතැන හිරවෙලා ඉන්න ගොඩක් අය දුක් විඳිනවා. මම ඇස් දෙකෙන් දැකපු දේ තමයි රටට හෙළි කළේ.’

මෙම කාන්තාව ඩුබායි සේවය සඳහා සංචාරක වීසාවලට යැවූ කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ නියෝජිතයකුගෙන් අපි ඒ පිළිබඳ විමසුවෙමු. එහිදී ඔහු කියා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඩුබායි රැකියාවලට කාන්තාවන් බහුතරයක් සංචාරක වීසාවලට යවන බවයි. තවද, එලෙස යන කාන්තාවන් එම රටේ රැකියාවක් සොයා ගැනීමෙන් අනතුරුව ඔවුන්ට වසර දෙකක වීසා එරටින් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත්, මෙම කාන්තාව අසනීප වීම නිසා නැවත ලංකාවට රැගෙන ආ බවත් ඔහු පැවසීය.

$ads={2}

විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි, මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණියගෙන් ඒ පිළිබඳ විමසීමේදී ඔහු කියා සිටියේ ඩුබායි රටට සංචාරක වීසා මත පුද්ගලයන් යැවීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියක් බවයි. එම අයට හාම්පුතකු ලැබුණු පසු වීසා දිගුකර දෙන බවත්, නැවත රැකියා නියෝජිත ආයතනය විසින් කාර්යාංශයට ඒ බව දැනුම් දිය යුතු බවත් හෙතෙම කීවේය.

Post a Comment (0)
Previous Post Next Post