කුඩා ගැහැනු ළමයින් පිරිසකගේ අඩ නිරුවත් ඡායාරූප යොදාගනිමින් ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන ගිය ජාවාරම්කරුවකු පිළිබඳ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ 1929 උපකාරක සේවයට ලද පැමිණිල්ලකට අනුව ළමා ආරක්ෂණ අධිකාරියේ විමර්ශන හා අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය සහ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ පැවසුවේය. විමර්ශන නිලධාරීන් විසින් ජාවාරම්කරුගේ නිවෙසේ තිබූ සැකකටයුතු උපකරණ අධිකාරියේ භාරයට ගෙන ඇති අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත කරනු ලැබූ දැනුම් දීමක් මත මෙම ෆේස්බුක් පිටුව අක්‍රීය කොට ඇත.
කොළඹ ප්‍රදේශයේ ඡායාරූප ශාලාවක් පවත්වාගෙන ගිය මෙම සැකකරු පිටිසර ගම්වල වයස අවුරුදු 05 – 11ත් අතර පෙනුමෙන් යුතු කුඩා දැරියන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ ඡායාරූප ගෙන ඇත්තේ සිංගප්පූරුවේ පැවැත්වෙන ඡායාරූප තරගයක් සඳහා දරුවාගේ ඡායාරූප ලබාගන්නා බව සමාජ මාධ්‍යයන් පිළිබඳ කිසිදු දැනුමක් නොමැති දෙමාපියන්ට පවසමිනි. ඒ සඳහා සැකකරු විසින් පවුලකට රුපියල් 15,000ක මුදලක් ද ලබා දී ඇත. අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානයන්ට දැරියන් ගෙන ගොස් ඡායාරූප ගෙන ඇති අතර බොහෝ අඩ නිරුවත් ඡායාරූප ඔහු ලබාගෙන ඇත්තේ දෙමාපියන් ළඟ සිටියහොත් දරුවන් ඡායාරූප ගැනීමට අදිමදි කරනා බව පවසා දෙමාපියන්ව වෙනත් ස්ථානයකට යැවීමෙනි.
$ads={2}
සැකකරු විසින් ලබාගන්නා ඡායාරූපවලින් 25%ක් ඔහු සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති අතර 75%ක්ම ජාත්‍යන්තර වෙබ් අඩවිවලට හෝ කුඩා දරුවන්ට ඉල්ලුමක් ඇති පුද්ගලයන් වෙත අලෙවි කර ඇති බවට හෙළි වී ඇත. මෙම ළමා ජාවාරම සඳහා සැකකරුගේ සහෝදරයා ඇතුළුව පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ. පෙරේදා (25) දින අධිකරණය කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරගෙන යනු ලබයි. ළමා ඡායාරූප යොදාගනිමින් පවත්වාගෙන යනු ලබන මෙවැනි ෆේස්බුක් පිටු පිළිබඳව තොරතුරු අනාවරණය වුවහොත් 1929 ශ්‍රී ලංකා ළමා උපකාරක සේවාවට දැනුම් දෙන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටී.