පිටරටින් එළවළු පළතුරු ගේන්න ඩොලර් තිබෙනවා. ඒත් තෙල් ගේන්න ඩොලර් නැහැ කියනවා. මෙතන ලොකු කුමන්ත්‍රණයක් තිබෙනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් පැවැසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේ දී ය.
ජනාධිපතිවරයා සාකච්ඡා කළාම මහබැංකු අධිපතිවරයාට ඩොලර් උනන්නේ කෙසේද යන්න ගැටලුවක්. පසුගිය 2020 වසරේ මාස 11ක දී එළවළු පළතුරු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 374ක් ද පසුගිය වසරේ මාස 11ක දී එළවළු පළතුරු ආනයනය කිරීමට ඩොලර් මිලියන 415ක් ද වැය කර තිබෙනවා යැයි කී ප්රචාරක ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
මහජන මුදල්වලින් ඇමැති ධුර නඩත්තු කරන්නේ ජනතාවට ප්රශ්නය කියන්න නොවෙයි. සාමූහිකව තීන්දු අරගෙන ප්‍රශ්න විසඳා ජනතාව ගොඩගන්න එක ඔවුන්ගේ වගකීමයි. නමුත් දැන් වෙලා තිබෙන්නේ ප්රශ්නය කිය කියා රටම අයාලේ යැවීමයි. බලශක්ති අර්බුදය පිටුපස සැලසුම් සහගත කුමන්ත්‍රණ තිබෙන්නත් පුළුවන්. ඒ අවිශ්වාසය, සැකය මේ රටේ ජනතාවට තිබෙනවා.
$ads={2}
මහජන උපයෝගීතා කොමිෂන් සභාව 2016 මාර්තු 31වැනිදා නිකුත් කළ වාර්තාවකින් පැහැදිලිව දක්වා තිබුණා වාර්ෂිකව විදුලි බල ඉල්ලුම 5.5%කින් ඉහළ යන බව. කාර්ය බහුල තත්ත්වයන් ඇති වුවහොත් තවත් වැඩිවෙන බව පෙන්වා දී තිබුණා. ඒ අනුව විදුලි උත්පාදන බලාගාර අලුතින් ආරම්භ කරන්න ආණ්ඩුවට සැලසුමක් තිබෙන්න ඕනෑ. නමුත් කිසිදු ආණ්ඩුවක් විදුලි අවශ්‍යතාවය සපුරන්න පූර්ව ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. මෑතදී ගම්මන්පිල ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ ජලාශ පිරී තිබෙන නිසා විදුලි උත්පාදනයට තෙල් අවශ්‍ය නොවන බවයි. 2009 අංක: 20 දරන විදුලි බල පනත අනුව විදුලි බල සම්ප්‍රේෂණ බලපත්‍ර ලාභියෙක් සතුව තිබිය යුතු පූර්ව අවශ්‍යතා ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. පාරිභෝගිකයන්ට ආරක්ෂාකාරී විශ්වාසවන්ත හා පිරිමැසුම් දායක විදුලි සැපයුමක් සහතික කළ හැකි වන පරිදි විදුලි බලය තොග වශයෙන් ලබාගෙන බෙදා හැරීම බලපත්‍ර ලාභියෙකුට තිබිය යුතුයි ” ඉතා පැහැදිලිව මේ කරුණු දක්වා තිබෙනවා. ඒ වගේම “ විදුලි බලය සඳහා කලින් පුරෝකථනය කළ ඉල්ලුම සපුරාලීමට උත්පාදනය කිරීමේ පිරිවිතයෙන් ලබාගත් ප්‍රමාණවත් ධාරිතාවයක් ඇති බවට සහතික විය යුතුය.” කියලත් සඳහන් වෙනවා. විදුලි බල බලපත්‍ර ලාභීන් සම්පූර්ණ කළ යුතු කොන්දේසි ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා.