චෙක් ජනරජයේ ගායිකාවක වන හැනා හොර්කා වුවමනාවෙන්ම කොරෝනා වයිරසය ආසාදනය කරගෙන මිය ගොස් තිබේ. 57 හැවිරිදි ඇය ජන ගී ගායිකාවක ලෙස කටයුතු කරන්නියකි. පසුගිය දිනවල ඇයගේ සැමියාට සහ පුත්‍රයාට වයිරසය ආසාදනය වී තිබූ අතර හැනා ඔවුන්ගෙන් වෙන්ව සිටීම ප්‍රතික්‍ෂේප කරමින් ඔවුන් සමගම කල් ගෙවා ඇති බව සඳහන් වේ. හැනාගේ පුත්‍රයා මාධ්‍ය සමග පවසා ඇති ආකාරයට ඇයට වුවමනා වී ඇත්තේ තමාටද වයිරසය ආසාදනය කර ගැනීමටය.
වයිරසය ආසාදනය වී සුව වූ විට ලැබෙන කොවිඩ් අවසර පත්‍රය ලබා ගැනීම ඇයගේ අරමුණ වී ඇත. චෙක් ජනරජයේ සිනමා ශාලා, නාට්‍ය ශාලා, තැබෑරුම්, අවන්හල් ඇතුළු බොහෝ ස්ථානවලට ඇතුල් වීම සඳහා මෙම අවසර පත්‍රය අවශ්‍යය. එය ලැබෙන්නේ කොවිඩ් එන්නත් ලබාගත් අයට සහ වයිරසය ආසාදනය වී සුව වූ අයටය. හැනා හොර්කා එන්නත් විරෝධියකු නොවුණත් එන්නත් ලබා ගැනීමට එතරම් කැමැත්තක් නොදැක්වූ බව ඇයගේ පුත්‍රයා සඳහන් කර තිබිණි.
මිය යෑමට දින දෙකකට පෙර හැනා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමක ලියා තිබුණේ තමා සුවය ලබමින් සිටින බවයි. ‘දැන් මට නැවතත් නාට්‍ය ශාලාවට, ප්‍රසංගවලට යාමට හැකි වේවි’ යැයි ඇය එහි ලියා තිබුණාය. හැනා මිය ගොස් තිබුණේ පසුගිය ඉරිදායි. තමාට වෙනදාට වඩා සුවයක් දැනෙන බව එදින උදයේ ඇය පවසා තිබූ බැව් වාර්තා වේ. ඇවිදින්නට යෑම සඳහා ඇය හැඳපැළඳ ගෙන තිබූ අතර ඒ සමගම ඇයගේ පිට ප්‍රදේශයේ වේදනාවක් ඇතිව තිබිණි. ඒ අවස්ථාවේ නිදා ගැනීම සඳහා තම මව නිදන කාමරයට ගිය බවත්, විනාඩි 10ක් තුළ ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වී මරණයට පත් වූ බවත් ඇයගේ පුත් ෂාන් රෙක් පවසා තිබේ.
‘ඇයගේ මතය වුණේ එන්නත ලබා ගන්නවාට වඩා කොවිඩ් වැලඳී සුව වීම හොඳ බවයි. ඒ ගැන ඇය සමග වාද කරන්නට යාමෙන් වැඩක් වුණේ නැහැ. ඒ අවස්ථාවල ඇය ටිකක් ආවේගශීලී වුණා’ යැයිද ඔහු තවදුරටත් පවසා තිබිණි. ඔහු පෙන්වා දෙන්නේ තම මව මුහුණ දුන් ඉරණම තුළින් එන්නත් නොලබා සිටින තව බොහෝ දෙනෙකුට පාඩමක් ඉගෙන ගත හැකි බවය.
ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්‍ෂ 3 පනී
$ads={2}
මේ අතර ඉන්දියාවේ කොවිඩ් තුන්වැනි රැල්ල දිනෙන් දින වඩාත් උත්සන්න වෙමින් ඇති අතර පසුගිය බදාදා දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 3 ඉක්මවා තිබිණි. මෙය මාස අටක කාලයක් තුළ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවයි. එදින වාර්තා වී තිබූ නව ආසාදිතයන් සංඛ්‍යාව 3,17,532ක් ලෙස සටහන්ව තිබිණි. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ. මේ වනවිට ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන මිලියන 38 ඉක්මවා තිබේ.
සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අතින් ලොව දෙවැනි තැන සිටින්නේ ඉන්දියාවයි. ඊට ඉහළින් සිටින්නේ ඇමරිකාව පමණි. ඇමරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 70කට ආසන්නය.
ලබන ඉරිදා වනවිට ඉන්දියාවේ කොවිඩ් තුන්වැනි රැල්ල එහි උපරිමයට ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඉන්දියානු තාක්‍ෂණික ආයතනයේ වාර්තාවක් සඳහන් කර ඇත. එම උපරිමයේ දී දෛනික ආසාදිතයන් ගණන ලක්‍ෂ 4 නොඉක්මවනු ඇති බවක්ද එම ආයතනය අනුමාන කරයි.