ශිෂ්‍යත්වෙට යන දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවුඩයක්...


හෙට (22 වැනිදා) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට සියලු කටයුතු සුදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (20 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ හතළිස් දහස් පන්සිය අටදෙනෙකු පෙනි සිටින අතර, විභාග මධ්‍යස්ථාන දෙදහස් නවසිය හතළිස් තුනකදි විභාගය පැවැත්වීමට නියමිතය. දමිළ මාධ්‍යයෙන් විභාගයට පෙනි සිටින සිසුන් සංඛ්‍යාව අසුපන්දහස් හාරසිය හතළිස් හයකි. විභාගයේ සම්බන්ධිකරණ කටයුතු සඳහා සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 469ක් ද ස්ථාපිත කර ඇත.

ශිෂ්‍යත්ව විභාගය හෙට පෙරවරු 9.30ට ආරම්භ විමට නියමිතය. පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු නවයයි තිහේ සිට දහයයි තිහ දක්වා පැවැත්වෙන අතර, දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.00ට ආරම්භ වී පස්වරු 12.15ට අවසන් වේ.

මේ අතර, කොවිඩ් අාසාදිත දරුවන් සඳහා ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටිමට විශේෂ විභාග මධ්‍යස්ථාන එකසිය අටක් ද ස්ථාපිත කර තිබේ. එම මධ්‍යස්ථාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයීය නිලධාරින් සම්බන්ධකරගෙන පවත්වාගෙන යනු ලබන අතර ඒ සඳහා වෙනම කාර්ය මණ්ඩලයක් පත් කර තිබේ.

සිසුන්ට සැහැල්ලුවෙන් විභාගයට පෙනි සිටිමට ඉඩ ලබාදෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය. තවද විභාගය සම්බන්ධව දෙමව්පියන් විසින් දරුවන්ට අනවශ්‍ය පිඩනයක් ඇති නොකළ යුතු බවද ඔහු පැවසීය.

විභාග කොමසාරිස් (පර්‌යේෂණ හා සංවර්ධන) ගයත්‍රි අබේගුණසේකර මෙහිදි ප්‍රකාශ කළේ සෑමවිටම දරුවන් ප්‍රශ්න පත්‍රයේ සඳහන් ආකාරයට නිවැරැදි උපදෙස් පිළිපැදිය යුතු බවයි.

ඊට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකු බාලසුරිය සඳහන් කළේ විභාගයට සුදානම් වන දරුවන් මෙන්ම ඔවුන්ගේ නිවැසියන්ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් දරුවන් ආරක්ෂා කළ යුතු බවයි. විශේෂයෙන්ම දරුවන් පාසලට රැගෙන යන පුද්ගලයන්ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළ යුතු බවත් පාසලට පැමිණි පසු දරුවන් එක්රොක් වි කථා බහ කිරීමෙන් වැළැකිය යුතු බවත් ඇය අවධාරණය කළාය.

විභාග දිනය වන විට යම් දරුවකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් එම සිසුවාට සිය නිවසට හෝ පාසලට ආසන්නව පිහිටි විශේෂ විභාග මධ්‍යස්ථානය වෙත ගොස් විභාගයට පෙනි සිටීමට අවස්ථාව සලාසා දී තිබේ. මේ සම්බන්ධ තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් සහ පාසලෙන් ලබාගත හැකි බව අධ්‍යපාන බලධාරිහු සඳහන් කළහ. එමෙන්ම ඔවුන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ වාර්තාව හෝ පි.සී.ආර්. පරික්ෂණ වාර්තාව විභාග ශාලාධිපතිවරයාට ලැබීමට සැලැස්විය යුතු බව විභාග කොමසාරිස් (පාලන සහ විමර්ශන) අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේය.

$ads={2}

තවද හෙට වනවිටත් නිරෝධායනයට ලක්වන හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවකු සිටීනම් එම දරුවන්ට ද විභාග මධ්‍යස්ථානය තුළ විශේෂ කාමරයක් සකස්කර ඇති අතර, ඔවුන්ට ද කිසිදු බාධාවකින් තොරව විභාගයට පෙනිසිටීමේ අවස්ථාව සලාසා දි තිබේ.

එසේම විභාගය පැවැත්වෙන දිනට දින දහයකට පෙර යම් දරුවකුට කොවිඩ් අාසාදනය වී සිටි නම් එම දරුවා විශේෂ විභාග මධ්‍යස්ථානයට යොමුකර යුතු බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Post a Comment (0)
Previous Post Next Post