තම බිරිඳට ඇති අසීමිත ආදරය මුල්කරගෙන බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට හා නාරහේන්පිට රෝහලට බෝම්බ තැබීමට උපදෙස් දුන් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින වෛද්‍යවරයා ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇත.
මීට වසර 48කට පෙර තම විවාහය සිදුවූයෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බවත් එදා ඇති වූ සිත්තැවුලක් මත මේ වනතුරුත් දේවස්ථානයට නොගිය බවත් හෙතෙම පවසා තිබේ.
තම බිරිඳ බෞද්ධයකු වීම නිසා විවාහ මංගල්‍ය දිනයේ උදෑසන පූජාවට එක්වීමට එවකට සිටි පූජකවරයා අවස්ථාව නොදුන් හේතුවෙන් ඒ සම්බන්ධව දැඩි සිත්වේදනාවෙන් සිටි බව හැත්තෑපස් හැවිරිදි වෛද්‍ය දයානන්ද හේරත් ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇතැයි කියයි.
පොලිසිය පවසන පරිදි එම සිද්ධිය මුල්කරගෙන බිරිඳගේ වියෝවෙන් පසු පල්ලියට බෝම්බය තැබූ බව හෙළිකර ඇත. තම බිරිඳගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික රෝහලකට ගිය අවස්ථාවේ ප්‍රතිකාර නොලැබුණෙන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලට ඇතුළත් කළ බවත් එහිදී එම රෝහල් කාර්ය මණ්ඩලය බිරිඳට ප්‍රතිකාර ලබාදෙමින් කළ සේවය වෙනුවෙන් රෝහලට ප්‍රසිද්ධියක් ලබාදීම සඳහා අත්බෝම්බයක් තැබූ බවද වෛද්‍යවරයා පවසා ඇතැයි පොලිසිය කියයි. අත්බෝම්බ දෙක රෝහලේ හා දේවස්ථානයේ තැබීමට තමා ළඟ සේවය කළ ලියනගේ දයාසේන නමැති කඩවත පදිංචි පුද්ගලයාට විටින් විට මුදල් ගෙවූ බවද වෛද්‍යවරයා හෙළිකර ඇති අතර, වෛද්‍යවරයා හෙළිකරන තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය ඔහුට බෝම්බ දුන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් සනාථ කළ යුතු බවද විමර්ශන නිලධාරීහු පවසති.
$ads={2}
75 වැනි වියෙහි පසුවන ඔහු මානසික පීඩාවට ලක්ව ඇති බැවින් මානසික වෛද්‍යවරයකු වෙත යොමුකර වාර්තාවක්ද කැඳවීමට නියමිතය.
තමන් බිරිඳට අසීමිතව ආදරය කළ බවත්, බිරිඳ මියගිය පසු මෙම සිද්ධින් කළ බවත් වෛද්‍යවරයා පැවැසු බවත් කියයි. බිරිඳගේ දේහය ආදාහනය කළ පසු ඇයගේ සිරුරේ අළුකොටස් යොදා සැකසූ මුද්දක් වෛද්‍යවරයා සතුව පවතී.
නාරාහේන්පිට බෝම්බයට සම්බන්ධව කළින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ඔහු අතර සබඳතාවන් තිබේද යන්න පිළිබඳවත් විමර්ශන අරඹා ඇත.
වෛද්‍යවරයාගේ කීමට බෝම්බ තැබූ බව කියන වරාය පොලිසියේ රඳවා සිටින ලියනගේ දයාසේන නමැති සැකකරුද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් විමර්ශන කිරීමට නියමිතය.
වෛද්‍යවරයාගේ නිවසේ තිබී හමුවූ පිස්තෝල හා තුවක්කු, වායු තුවක්කු හා පිස්තෝල බවද අනාවරණය වී ඇත.