බොරැල්ල පල්ලියේ බෝම්බෙට පිළියන්දල දොස්තර අත්අඩංගුවට... නාරාහේන්පිට රෝහලේ බෝම්බෙටත් හවුල් - පොලිසිය


බොරැල්ල ආනන්ද රාජකාරුණා මාවතේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට අත්බෝම්බය තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයකු පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින තුනකට පමණ ඉහත් දී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ලියනගේ දයාසේන නමැති 65 හැවිරිදි සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුවයි.

පිළියන්දල දිසා රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබූ එම සැකකරු ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු ක්‍රියා කර ඇති බව විමර්ශනවල දී හෙළිව තිබේ.

$ads={2}

ප්‍රධාන සැකකරුට මුදල් මෙන්ම බෝම්බය ලබාදී ඇතතේ මෙම විශ්‍රාමික වෛද්‍යවරයා බවද මේ වන විට තොරතුරු හෙළි වෙමින් පවතින බවත් එයට හේතුව ඊයේ (18 වැනිදා) රාත්‍රී වනතුරුත් නිශ්චිත ලෙස අනාවරණය නොවූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට මීට මාස කීපයකට ඉහත දී බෝම්බය තැබීමටද කටයුතු කර ඇත්තේ මෙම වෛද්‍යවරයා බවටද තොරතුරු අනාවරණය වන නමුත් එය තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයාගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිත බව උසස්​ පොලිස් නිලධාරියා පැවැසීය.

අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් දෙදෙනාම මේ වන විට වරාය පොලිසියේ දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රඳවා ඇත.

එස්.ජයසිංහ - කහතඩුව,එෆ්. අස්ලම්

Post a Comment (0)
Previous Post Next Post