සෞඛ්‍ය මාර්ගෝපදේශ 'බල්ලට දමා' ඩොලර් පසුපස යන සංචාරක අමාත්‍යංශය

මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බව සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව සිටින ප්‍රජාව චෝදනා කරති.


ඒ පිළිබඳව කළ සොයා බැලීමකදී විදේශිකයින් රට තුළ සංචාරය කිරීමේදී මුව ආවරණ නොපැළඳ සිටින අයුරු අපට ද දක්නට ලැබිණි.

සංචාරක ආකර්ෂණය දිනා ගත් ප්‍රදේශ ලෙස සැලකෙන ගාල්ල, මාතර, හික්කඩුව සහ මිරිස්ස ඇතුළු නාගරීක ප්‍රදේශවල ඔවුන් මෙලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් නොවී පොදු ස්ථානවල සංචාරය කරමින් සිටින ආකාරය නිරීක්ෂණය විය.

මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

එහිදී ලේකම්වරයා සඳහන් කළේ, මෙලෙස පොදු ස්ථානවල මුව ආවරණ නොමැතිව සැරිසරන විදෙස් සංචාරකයින්ට එය පළඳින ලෙස බල කීරීමක් කළ නොහැකි බව ය.

මේ සම්බන්ධයෙන් නීත්‍යනුකූල පියවර ගැනීමට හැකි නමුත් මෙය එලෙස සිදු කිරීමට සුදුසු කාලයක් නොවන බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

"අපිට බල කරන්න බැහැ. ඕන නම් ඉතින් පුළුවන් නීත්‍යනුකූලව යම් යම් පියවරයන් ගන්න. නමුත් දැන් අපි නීත්‍යනුකූලව පියවර ගන්න එක නෙවෙයිනේ මේ වෙලාවේ, පුළුවන් තරම් ප්‍රොමෝට් කරන්න නේ උත්සහ කරන්නේ. නමුත් අපි ඒකෙන් අදහස් කරන්නෙ නැහැ නීතිය වයලේට් කරන්න ඕන කියන එක. නමුත් open areasවල ඒ වෙනුවෙන් කෙනෙක් දාන්න බැහැ නෙ පොලිසියෙන් හරි ඔක්කොමගෙන් කියයි දාගන්නෙයි කියලා එච්චර යි. ඊට අමතරව කාට ද කියන්න පුළුවන් open area එකක කියන්න පුළුවන් කාට ද? අයිතියක් නැහැ නේ," 

යනුවෙන් ඔහු සඳහන් කළේ ය.

හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ, පොදු ස්ථානයේ මුව ආවරණ නොමැතිව සිටීම පිළිබඳව විදේශිකයෙකුගෙන් විමසීමේදී ඔහු "You say your country is safe and 90% are vaccinated. Then why should we wear mask?" යනුවෙන් ප්‍රශ්න කළ බව ය.

"ත්‍රීවිල් එකේ යනවා නම් මේක දාගෙන යන්න කියලා කියන්න පුළුවන් open area එකක එහෙම කියන්න බැහැ. මුහුදු වෙරළ කියන්නේ open area එකක්. ඒකේ කියන්න බැහැ නේ මාස්ක් එක දාගෙන යන්නැයි කියලා ඒක ලොකු අත්‍යවශ්‍ය මේකක් නැහැ. මම දැක්කා අපේ අයත් මුහුදු වෙරළේ යනකොට දාගෙන යන්නේ නැහැ."

සෞඛ්‍ය අංශයෙන් මේ සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ නිකුත් කළහොත් ඒ පිළිබඳව කටයුතු කරන බව ඔහු අප කළ විමසීමේදී පැවසීය.

"පියවරක් ගන්න බැරිකමක් නොවෙයි, ගන්න අවශ්‍ය නැහැ කියන එකයි මන් කියන්නේ. Health එකෙන් කවුරුහරි කියලා අලුත් guidline එකක් අවොත් එහෙමයි. නැත්නම් මේ තියෙන විදිහට යන එක තමයි කරගෙන යන්නේ. අපි ඒ තරම් ඒකට එලවන්නෙ නැහැ ," 

යනුවෙන් සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් රට තුළ සැරිසරන විදෙස් සංචාරකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ද යන්න සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ද mawbima.lk වෙබ් අඩවිය විමසීමක් කළෙමු.

$ads={2}

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, දේශීය ජනතාව මෙන් ම විදේශීය සංචාරකයින් ද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු අතර මුව ආවරණ ද පැළඳිය යුතු බව ය.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම් කර ඇති අතර විදේශීය සංචාරකයන්ට සංචාරක අමාත්‍යංශයෙන් දැනුවත් කිරීම් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

"සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ උපදෙස් දුන්නහම ඒවා පිළිපදින්න ඕන. එහෙම නැතුව අපිට මාස්ක් එකක් දැම්මේ නැහැයි කියලා පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන එහෙම ක්‍රියාත්මක වෙන්න බැහැ. ඒ නිසා මහ ජනතාව දැනුවත් වෙන්න ඕන. දේශීය ද විදේශිකයා ද කියන එක අපි අදාළ කර ගන්නේ නැහැ. මුව ආවරණ පළදින්නේ නැති පුද්ගලයාට අපි ඉතින් අවවාද කිරීම් කරලා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග තමයි කරන්නේ," 

යනුවෙන් ඔහු වැඩිදුරට ත් පැවසීය.

ඡායාරූප - (උදය කුමාර රණවීර - මාතර)

Post a Comment (0)
Previous Post Next Post