කටුනායක හෙල්ලූ පෝරිසාදයා ඇල්ලූ පැයක කොමාන්ඩෝ මෙහෙයුම...අන්තර්ජාතික ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයෙක්දැයි සැකයක්


ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හඳුනා නොගත් විදේශිකයකු , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඊයේ (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විශාල කලබලයක් ඇතිවිය. නිලධාරීන්ගෙන් මිදී පැන දුවන්නට වූ මෙම විදේශිකයා, ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටියදී , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයන්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ නිලධාරීන් එක්ව මහත් පරිශ්‍රමයක් යොදා ඔහු අත්අඩංගුවටගෙන තිබිණි.

මොහු සුදු හම සහිත හැඩි දැඩි විදේශිකයෙකි. ඔහු 01/10 දින අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සඳහා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි. ඊයේ අලුයම 01.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රය ද ලබා ගැනීමෙන් අනතුරුව , විගමන කවුළුව වෙත පැමිණියේ, තම ලියකියවිලි නිෂ්කාශනය කර ගැනීමටය. එහිදී ඔහු ඉදිරිපත් කළ සීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

$ads={2}

ඒ අතරතුර මෙම විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටියදී, එකවරම ඔහු හිඳගෙන සිටි පුටුවෙන් නැගිට, පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට වූයේ, චිත්‍රපට දර්ශනයක මෙන් ආගමන විගමන නිලධාරීන් වික්ෂිප්ත කරමිනි. පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යමින් සිටි මොහු රේගු පරිශ්‍රය ඔස්සේ ද දිව යමින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින්, දිව යන්නට විය.

මේ සඳහා මොහුට ගත වී තිබුණේ තත්පර 02 ක තරම් සුළු කාලයක් පමණි. එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ එවකට රාජකාරී කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු බළලත් නිලධාරීවරයාට මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කඳවුර, ගුවන් තොටුපළ පොලිසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දුරකථන ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. ඒ වනවිටත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකු සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද, මොහු පිටුපස ලුහුබඳිමින්, හඹා යමින් සිටියහ. ඒ සැනින් මෙම විදේශිකයා, එකවරම, අසල ඇති තාප්පයකට නැග, එයින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග, ඒ මත සැඟවීමට උත්සහ කළේය. එය දුටු ගුවන් තොටුපළ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් සිටි, ගුවන් හමුදා නිලධාරීන් වහාම සැඟවී සිටි ස්ථානය වෙත ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිසක් යොමු කරන්නට පියවර ගත්හ. එවිට විදේශිකයා, එම වහළය මත දිව ගොස්, කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන, ගුවන් තොටුපළෙන් පිටතට පලායෑමට සූදානම් විය. මේ වනවිට මෙම ත්‍රාසජනක ක්‍රියාවලියට පැයක පමණ කාලයක් ගත වී තිබිණි.

ඒ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිස්, ගුවන් තොටුපළ පොලිසියේ සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මොහු වටකොට තිබිණි. එසේම ගුවන් තොටුපළ පිටතට යාමට අවකාශ ඇති සියලුම ස්ථානවල ආරක්ෂාව තර කිරීමට ද පියවර ගැනිණි. ඒ අනුව අලුයම 02.15 ට පමණ මෙම හඳුනා නොගත් විදේශිකයා, ගුවන් තොටුපළ පිටතට යාමේ දොරටුව අසල අත්අඩංගුවට ගැනීමට මෙම නිලධාරීහු සමත්වූහ.

මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස සඳහන් අංකයක් පච්ච කොටා තිබූ අතර මොහු විදේශික බන්ධනාගාරයකින් පලා ආ පුද්ගලයෙකු හෝ විදේශීය රටකට අත්‍යවශ්‍ය පුද්ගලයෙකු (Wanted Person ) හෝ කිසියම් අන්තර්ජාතික ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ගුවන් තොටුපළ ආරක්ෂක අංශ සැක පහළ කරයි. විශේෂයෙන්ම තාප්පය දිගේ දිවයාම, වහළයෙන් වහළයට පැන යාම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ ආරක්ෂක නිලධාරීන්ට අභියෝග කරමින් දිවයාම වැනි කටයුතු, මේ පිළිබඳව මනා පුහුණුවක් ලද පුද්ගලයෙකුට පමණක් සිදු කළ හැකි ක්‍රියාදාමයන් වේ . අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබේ.

Post a Comment (0)
Previous Post Next Post