මවුපියන්ගේ කරදර විඳදරා ගැනීමට නොහැකිව සිය පෙම්වතා බව කියන තරුණයකු සමඟ රැය තුනක් වනගතව සිටියදී සොයා ගෙන පරිවාස නිලධාරි විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වයස අවුරුදු 13ක පමණ දැරියක් ඇයගේ මවුපියන්ට බාර දෙන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහෙස්ත්රාත් සමන් වැරනියගොඩ මහතා කැකිරාව මහෙස්ත්රාත් අධිකරණයේ ජේයෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතාට නියෝග කළේය.
$ads={2}
දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් දැරිය පිළිබඳව අධීක්ෂණයෙන් යුතුව පසු විපරම් කරන ලෙසටත් ජේයෂ්ඨ පරිවාස නිලධාරිට තවදුරටත් නියෝග කරනු ලැබීය.
තම දරුවන් ආදරයෙන් මෙන්ම දැඩි කැපවීමෙන් හා වගකීමෙන් රැක බලා ගන්නා ලෙසටද මහෙස්ත්රාත්වරයා දැරියගේ මවුපියන්ට තරයේ අවවාද කළේය. මෙම දැරිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කැකිරාව මහෙස්ත්රාත් අධිකරණයේ ජේයෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතා සඳහන් කළේ පිරිමි පුද්ගලයකු සමඟ ළාබාල දැරියක් රාත්රි කාලයේ කැලයක සිටින බවට 119 පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට දුරකථන ඇමතුමක් ලැබී ඇති බවයි.
පසුව කළ මෙහෙයුමකදී අදාළ දැරිය කැලයේ සිටියදී පොලිසිය මඟින් සොයා ගත් බවත් ඇය සමඟ කැලයේ සිටි බව කියන තරුණයා සොයා ගැනීමට නොහැකි වූ බවත් අධිකරණයට කියා සිටි ජේයෂ්ඨ පරිවාස නිලධාරියා මවුපියන් අතර පවතින විවිධ හැළහැප්පීම්, අඬ දබර හේතුවෙන් දැරිය මෙලෙස දින තුනක් තරුණයකු සමඟ කැලයට ගොස් සිටින්නට ඇති බවට සැක කරන බවත් ඇය සිය මවුපියන්ට බාරදීමට නියෝග කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.