පැය 40ක් තිස්සේ නල ළිඳක සිරවී සිටින දරුවෙකු බේරා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් [VIDEO]

ගැඹුරු ළිඳකට වැටී පැය 40කට වැඩි කාලයක් පුරා එහි සිරවී සිටින පස් හැවිරිදි දරුවෙකු ඉන් ගොඩ ගැනීමේ මෙහෙයුමක් සම්බන්ධ පුවතක් මොරොක්කෝවෙන් වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෙබරවාරි 1 වන අඟහරුවාදා දිනයේදී එම දරුවා අදාළ ළිඳේ මීටර් 32ක් පමණ ගැඹුරකට වැටී, මෙතෙක් එහි සිරවී සිටින බව ය.

රයන් නමැති මෙම පිරිමි දරුවා මොරොක්කෝවේ ටැමොරෝ නගරයේ පිහිටි අදාළ ළිඳ අසල සෙල්ලම් කර සිට ඇති අතර එම අවස්ථාවේදී ඔහු ළිඳට වැටී තිබේ.

ඒ අනුව, ඔහු ගොඩට ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් පැය 24කට අධික කාලයක සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවාගේ පියා සඳහන් කර ඇත්තේ, තමා අලුත්වැඩියා කටයුත්තක් සිදු කරමින් සිටියදී මදකට දරුවා පිළිබඳව ඇති අවධානය ගිලිහුණු අවස්ථාවේ දරුවා මෙම ළිඳට වැටී ඇති බව ය.

රයන්ගේ ගලවා ගැනීම සඳහා කැණීම් යන්ත්‍ර පහක් යොදවා ඇති අතර ඔහු සිර වී සිටින ස්ථානය තෙක් එම යන්ත්‍ර මගින් උමගක් කපා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ඔහු සිරවී සිටින ළිඳට සෘජුව ම ගමන් කිරීමට නොහැකිව ඇත්තේ, එහි විශ්කම්භය සෙන්ටිමීටර 25ක් පමණ කුඩා වන බැවින් යැයි සඳහන් වේ.

එහි විශ්කම්භය විශාල කිරීමට ද අපහසු වී ඇති අතර ඊට හේතු වී ඇත්තේ, අදාළ ස්ථානය හෑරීමක් කළ හොත් එම ස්ථානයේ නාය යාමේ තර්ජනයක් ඇති බවට හඳුනාගැනීම හේතුවෙනි.

එබැවින් දරුවා ගොඩ ගැනීමට ඉතිරි වී ඇති අවසන් උපායමාර්ගය ලෙස ළිඳ අවට ප්‍රදේශය කැණීම ආරම්භ කර තිබේ.

ඒ අනුව, පැය ගණනක සිට සිදු කළ කැණීම්වලින් අනතුරුව රයන් ආසන්නයට යාමට ඇත්තේ තවත් මීටර් තුනක් පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන් ම, රයන් සිරවී සිටින ස්ථානයට නල මගින් ජලය සහ ඔක්සිජන් ලබා දීමට කටයුතු කර ඇති තිබේ.

දරුවා සිරවී සිටින ළිඳ තුළට යොමු කර ඇති කැමරාවක් මගින් ලබා ගත් දර්ශනවලින් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවට තහවුරු වී ඇති අතර ඔහු  හිසෙහි ඇතිවූ සුළු තුවාලවලින් පීඩා විඳිමින් සිටින බව ද එමගින් හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ගලවා ගැනීමෙන් අනතුරුව ඔහු වහා රෝහල්ගත කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් එම ස්ථානයට ගෙන්වා ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

$ads={2}
Post a Comment (0)
Previous Post Next Post