කොවිඩ් එන්නත නිසා සරුභාවයට සහ ඔසප් චක්‍රයට බලපෑම් ඇති වනවා ද?


කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් අනතුරුව ඔසප් චක්‍රයේ සුළු වෙනස්කමක් ඇති විය හැකි බව ඒ පිළිබඳව සිදු කළ අධ්‍යයන කිහිපයකින් තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, එය ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බව එක්සත් රාජධානියේ ප්‍රජනන ප්‍රතිශක්තිවේද විශේෂඥයෙකු වන වෛද්‍ය වික්ටෝරියා මේල් ප්‍රකාශ කර ඇත.

ඇය සඳහන් කළේ, ඔසප් චක්‍රය පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදය සහ නොර්වේ යන රටවල සිදු කරන ලද අධ්‍යයනවලදී එය යළි ත් තහවුරු වූ බව ය.   

එමෙන් ම, කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් සරුභාවයට බලපෑම් ඇති වන බවට ගෙන යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ද ඇය දොස් පවරා ඇත.

$ads={2}

කොවිඩ් එන්නත දරුවන් ලැබීමේ හැකියාව සඳහා බලපෑම් ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ද විශේෂඥයින් ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමෙන් පසු අනපේක්ෂිත ලෙස යෝනි මාර්ගයෙන් ලේ ගැලීම් සහ අධික හා ප්‍රමාද වූ ඔසප් වීම් පිළිබඳ වාර්තා එක්සත් රාජධානියේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ආයතනයට 37,000කට වඩා ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය. 

කෙසේ වෙතත්, එම ආයතනය සඳහන් කර ඇත්තේ ඊට කොව්ඩ් එන්නත සම්බන්ධ බවට සාක්ෂි නොමැති බව ය. ස්වභාවිකව ම ඔසප් චක්‍රය වෙනස්කම්වලට භාජනය වීම ඊට හේතුව බව ඔවුන් සඳහන් කර ඇත.

නමුත් ඒ පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදු කළ යුතු බවට විද්‍යාඥයින් සඳහන් කර තිබේ.

කාන්තාවන් 4,000කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ සිදු කරන ලද අමෙරිකා එක්සත් ජනපද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, දෙවන එන්නත් මාත්‍රාවෙන් පසු ඔවුන්ගේ ඊළඟ ඔසප් වීම දින භාගයකින් ප්‍රමාද වූ නමුත් පළමු එන්නතෙන් පසු ප්‍රමාදයක් සිදු නොවූ බව ය.

වෛද්‍ය මේල් වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත්තේ, කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසුව ඔසප් චක්‍රයේ වෙනස්කම් ඇති වුව ද ඒවා ස්වභාවික වෙනස්වීම් හා සසඳන විට සුළු සහ ඉක්මනින් යථා තත්ත්වයට පත්වන වෙනස්කම් බව ය.

මව්බිම..

Post a Comment (0)
Previous Post Next Post