දිඹුලාගල සමූපකාරයේ සැඟවූ ඩීසල් ලීටර් 2000ක් ගොවීන්ට...

දිඹුලාගල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් මනම්පිටිය නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු විසින් අද (25දා)  පාළු ගබඩාවක සහ සමිතියට අයත් ලොරි රථයක සඟවා ගනිමින් වැඩි මිලට විකිණීම සඳහා තබාගත් ඩීසල් ලීටර් 2000ට ආසන්න ප්‍රමාණයක් ප්‍රදේශ‍යේ ගොවීන්ට ලබාදීමට කටයුතු කළබව මනම්පිටිය පොලිසිය පවසයි.

ප්‍රදේශයේ ගොවීන් විසින්  සිදුකල පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බවත්, එහිදී සමුපකාර  සමිතියට අයත් ගබඩාවක ඉන්ධන පිරවු බැරල් දෙකක්ද, හිස් බැරල් කිහිපයක් ද තිබූ බවත්, සියලු  ඩීසල් තොගය සී සෑම් කටයුතුවලට කූපන් ක්‍රමයට  පෝලිමේ සිටි ගොවීන්ට ලබා දීමට පියවර ගත් බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ගොවීන් සඳහන් කළේ තමන් දින කිහිපයක සිට ඩීසල් ලබාගැනීමට පෝලිමේ සිටියද   සමූපකාර ඉන්ධන පිරවුම්හලේ   කළමනාකාරවරයා ඉන්ධන නොමැති බවට පවසා,අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන තිබෙන බවත්, ඒවා  ඔහු විසින්ම සඟවා වැඩි මිලට අලෙවි කිරීමටත් වැලි ටිපර් රියදුරන්ගෙන් සන්තෝෂ්ම් ගෙන රියදුරන්ට ඉන්ධන වැඩිපුර ලබාදීමට තබාගෙන සිටින බවයි.

$ads={2}

අප මේ පිළිබඳව දිඹුලාගල විවිධ සේවා සමුපකාර සමිතියේ  සභාපති උපුල් අලහකෝන් මහතාගෙන් දුරකථනයෙන් සිදුකළ විමසීමකදී ඔහු මෙලෙස සඳහන් කළේය.  අපි  ඩීසල් ලීටර් හයසියයක් සංචිිත වශයෙන් තියාගෙන හිටියේ. රාජ්‍ය ආයතන වලට  නිකුත් කිරීමට. වනජීවිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවලට ලබා දීමට එම ඩීසල් තිබුනේ. ඩීසල් තිබුණොත් ගොවියන්ගෙන් බේරෙන්න බෑ. අපි වැලිකන්ද ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් හා ඩීසල් ලබාදීමේදී ඉතා සාධාරණව සිදු සිදුකළා, මනම්පිටිය සමුපකාර ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයා පිළිබඳ චෝදනා ගොඩක් ලැබිලා තිබෙනවා.  මේ වගේ වැඩක් කරල තිබෙනවා නම් මම ඔහු සේවයෙන් වහාම  ඉවත් කිරීමට පියවර ගන්නවා යයිද අලහකෝන් මහතා පැවසීය.

අප මේ සම්බන්ධයෙන් පොලොන්නරුව සමුපකාර සහකාර කොමසාරිස්, කේ. සූරසේන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ සංචිත වශයෙන් බැරල්වල තබා ගැනීමට උපදෙස් ලබාදී නොමැති බවත්, සමූපකාර වාහනවලට  අවශ්‍ය නම් ඩීසල් බැරල් එකක් පමණක් තබා ගැනීමට උපදෙස් ලබාදී ඇති බවත්, , ඉන්ධන පිරවුම්හලේ  කළමනාකාරවරයා සිදුකර ඇත්තේ සම්පූර්ණ වරදක් බවද සූරසේන මහතා කීවේය.

-මනම්පිටිය නිමල් ජයරත්න

Post a Comment (0)
Previous Post Next Post